දෙවැනි ඉනිමේ ක්‍රිකට් කෝච් ලයනල් සඳුන්-රයන් වැන්ඩස්ට්‍රෝයි

මේ දවස්වල “දෙවැනි ඉනිම” නරඹන ප්‍රේක්ෂකයන්ගෙන් වැඩිපුරම බැණුම් අහන්නේ කවුද කියලා ඇහුවොත් ඔබ දෙන පිළිතුර කවුද? “වෙන කවුද ඉතින් ඉස්කෝලෙට අලුතින් ආපු ක්‍රිකට් කෝච් තමයි”. අනිවාර්යයෙන්ම ඔබ ඒ පිළිතුර දෙනවාමයි. දෙවැනි ඉනිම ටෙලි නාට්‍යයේ ලයනල් සඳුන් කියන ක්‍රිකට් පුහුණුකරුවාගේ චරිතය රඟපෑවාට ඔහුගේ ඇත්තම නම රයන් වැන්ඩස්ටේ‍රා්යි.

මේ දවස්වල රයන්ට බොහෝ අයගෙන් ප්‍රතිචාර ලැබෙනවා ඇති?
අන්තර්ජාලයේ මුහුණු ‍පොතෙන් වගේම පාරේ යද්දී අතින් අල්ලලා නවත්වාගෙන ප්‍රතිචාර දක්වන රසිකයිනුත් ඉන්නවා. හැබැයි ඒ හැම ප්‍රතිචාරයක්ම ඉතාමත් නරක ප්‍රතිචාර. ඒ වෙලාවට මට ලොකු සතුටක් නම් දැනෙනවා. මගේ රංගනය සාර්ථක හින්දානේ ඒ වගේ නරක ප්‍රතිචාර වුණත් ලැබෙන්නේ.

ඒ ප්‍රතිචාර අතර තදින් හිතට වැදුණු අවස්ථාත් ඇති
ටෙලි නාට්‍යයේ එක දර්ශනයක් තිබුණා මම ප්‍රින්සිපල් ඉස්සරහදීම වේවැල අරගෙන අනුහස්ට පහර දෙනවා. ක්‍රිකට් කෝචර් කෙනෙකුට ප්‍රින්සිපල් ඉස්සරහ ඒ විදියට පාසල් ශිෂ්‍යයෙකුට පහර දෙන්න බැහැනේ. ඒක ඇත්තටම මම කළ නීති විරෝධී වැඩක් කියලා හිතාගෙන FB හරහා මට අසීමිත ලෙස බැණ වැදුණු අය හුඟ දෙනෙක් හිටියා.

‘දෙවැනි ඉනිම’ තුළින් බොහෝ අයගේ කතාබහට ලක් වුණාට රයන්ට දිගුකාලීන රංගන ඉතිහාසයක් තියෙනවා නේද?
ඔව්, මම රංගනයට පිවිසුනේ 2004දී. මේ වෙද්දී චිත්‍රපට 6ක් සහ ටෙලි නාට්‍ය 39කට රංගනයෙන් දායක වෙලා තියෙනවා.

ඔබ විදෙස් නිර්මාණවලටත් සම්බන්ධ වූ රංගන ශිල්පියෙක් නේද?
මම ‘බොම්බේ වෙල්වට්’ සහ ‘රූට් ඔෆ් ලව්’ චිත්‍රපටවල රඟපෑවා ‘රූට් ඔෆ් ලව්’ චිත්‍රපටයේ රඟපෑවේ ජෝන් එබ්‍රහම්ගේ මිතුරෙකුගේ චරිතයක්.

වසර 13ක් දෙස් විදෙස් නිර්මාණවලට රංගනයෙන් එක්වුණත් රයන් ඒ ගමන ආවේ බොහොම හෙමින් කියලයි අපිට නම් හිතෙන්නේ ?
ඒ හෙමින් ගමන මම නිහඬවම තවමත් ඉදිරියට යනවා. ඒ ගමනෙදී මම ජනප්‍රියත්වය ගැන හිතලාම නැහැ. කරන දේ හරියට කරන්නයි මම උත්සාහ කරන්නේ. මගේ ආටිකල් එකක් කරලා දෙන්න කියලා මම කවදාවත් කිසිම පත්තරේකට කියලා නැහැ. මම මෙහෙම කිව්වම ඔයා වුණත් පුදුම වෙයි. මේ අවුරුදු 13ට. ‘රිද්ම’ තමයි මගේ තුන්වැනි ආටිකල් එක කරන්නේ. මීට කලින් මගේ ආටිකල් දෙකක් විතරයි පත්තරවල ගිහින් තියෙන්නේ.

රයන් රංගනයට පිවිසුණේ කොහොමද?
පුංචි කා‍ලේ ඉඳන් කලාවට ආශාවක් තිබුණත් රංගනයට පැමිණීමේ අදහසක් තිබුණේ නැහැ. ඒක අහඹු සිදුවීමක්. මම නිතර යන එන “කොෆි ෂොප්” එකක් තියෙනවා. බුද්ධික ජයරත්නත් ඔතැනට එනවා. දවසක් බුද්ධික මට කතා කරලා කිව්වා. “මම කාලයක් ඔයාව ස්ටඩි කළා. මම ‘දේදුනු වැස්ස’ කියලා චිත්‍රපටයක් කරනවා. ඒකේ රජිව් කියලා චරිතයක් තියෙනවා ඒක රඟපාන්න කැමතිද?” කියලා. ඒ විදියට තමයි මගේ රංගන දිවිය පටන් ගත්තේ. ඇත්තටම නළුවෙක් විදියට මම මෙතැන ඉන්නවා නම් එහි ස්තූතිය හිමි විය යුත්තේ බුද්ධිකටයි

රයන්ගේ පුද්ගලික විස්තර දැනගන්නත් “රිද්ම” පාඨකයෝ කැමති වෙයි
මම ඉපදුනේ හැදුණේ වැඩුනේ ගල්කිස්සේ. ඉගෙන ගත්තේ ශාන්ත මේරි විදුහ‍ලේ. මම බර්ගර් ජාතිකයෙක් වුණාට ඉංග්‍රීසියෙන් කතා කරන්නේ ගෙදර දී විතරයි. ගේට්ටුවෙන් එළියට බැස්ස වෙලාවේ ඉඳන් කතා කරන්නේ සිංහලෙන්. මගේ යාළුවො ඔක්කොම සිංහල, දෙමළ, මුස්ලිම් අය. ඒ හින්දා රඟපාද්දී සිංහල දෙබස් කියන එක ගැටලුවක් නමෛයි. මම මගේම ව්‍යාපාරයක් කරගෙන යන අතර තමයි රඟපාන්නේ.

කවද්ද රයන්ගේ තනිකඩ ජීවිතය නිමා කරන්නේ ?
ළඟදීම ඒ දවස උදාවෙයි.

-සටහන-ආරියවංශ කුලතිලක
උපුටාගැනීම රිද්ම අතිරේකයෙනි

Leave a Reply

Your email address will not be published. Required fields are marked *