ජීවිතයේ සිත්තරා ඇන්ටන් චෙකොව්

රුසියානු ජාතික කතුවරයෙක් වන ඇන්ටන් පැවිලොවික් චෙකොව් සාහිත්‍ය ඉතිහාසයේ, විශිෂ්ට කෙටි කතාකරුවකු ලෙස ප්‍රකටව පවතී. ග්‍රන්ථ රචනයට අමතරව ඔහු වෛද්‍යවරයෙක්, නාට්‍ය රචනා සමීක්ෂකයෙක් ලෙසද සේවයේ නියැලිනි. ඔහු නාට්‍ය රචකයෙකු ලෙස සම්භාවනීය නිර්මාණ හතරක නිෂ්පාදනයට දායක වු අතර ඔහුගේ විශිෂ්ට කෙටි කථා නිර්මාණ වෙනත් කතුවරුන්ගේ මෙන්ම ග්‍රන්ථ විවේචකයන්ගේද සම්මානයට පාත්‍රව පවති.චෙකොව් වෛද්‍ය වෘත්තිය සහ සාහිත්‍ය වෘත්තිය සමබරව කල අයෙකු විය. එනිසා ම ඔහු විසින් වරෙක “වෛද්‍ය විද්‍යාව මාගේ නීත්‍යානුකූල බිරිඳයි, සාහිත්‍ය යනු මාගේ අනියම් බිරිඳයි” ලෙස ප්‍රකාෂ කෙරිණි.

1896 දී චෙකෝව් තම The Seagull නම් නාට්‍යට නිසි පිලිගැනීමක් නොමැති වීම නිස නාට්‍ය ලිවීම සහ නිශ්පාදනයෙන් බැහැර වීමට තිරණය කළද, 1898 දී මෙම නිශ්පාදනය, කොන්ස්තන්තින් ස්ටැනිස්ලැවිස්කිගේ මොස්කව් රඟහල මඟින් පෙන්වීමත් සමඟ නැවත පිළිගැනීමට ලක් විණි. මින්පසුව මෙම රඟහල, චෙකොව්ගේ “Uncle Vonya” නම් නාට්‍ය නිශ්පාදනයට ද, ඔහුගේ අවසාන නාට්‍ය නිර්මාණ දෙක වන “Three sisters” සහ “The cherry Orchard” හි මංගල දර්ශනයන් පැවැත්වීමට ද දායක වුණි. මෙම නිර්මාණ හතර රංගන ශිල්පීන්ට මෙන්ම ප්‍රේක්ෂකයන්ටද අභියෝගයක් එල්ල කිරිමට සමත් වුණි. මන්ද යත් සම්ප්‍රදායානුකූල පැවැත්මට ඔබ්බෙන් ගිය චෙකොව් යොමුවූයේ රංගන මනෝභාවයන් මඟින් ජීවිතයේ තාත්වික අවස්ථා නිරූපණයට ය.

චෙකෝව් පළමුව ලේඛන කලාවේ යෙදුණේ මුදල් ඉපැයීමේ මාර්ගයක් ලෙස පමණි. නමුත් පසුව ඔහුගේ කලාවට ඇති ලැදියාව වර්ධනය වීමත් සමඟ ඔහු තම රචනා ශෛලියට විධිමත් නව්‍යතා එක් කළ අතර එය නූතන කෙටි කථා සාහිත්‍යය පරිණාමයෙහි ලා බලපෑමක් විය. ඔහුගේ ප්‍රතිභාව වූයේ සිදුවීම් පෙළක් ගලා යන අයුරින් තම නිර්මාණය ගෙනහැර පෑමයි. පසුව මෙම ක්‍රමෝපාය ජේම්ස් ජොයිස් සහ අනිකුත් නව නිර්මාණ වේදීන් ද යොදාගත්තේය. මෙම ක්‍රමෝපාය සම්ප්‍රදායානුකූල කථා රචන ව්‍යුහයට පටහැනි විය. මෙම නව ප්‍රවණතාවය පාඨකයන්ට යම් අපහසුතා ඇති කළ ද ඔහු කිසිදිනක ඊට සමාව නොගත් අතර ඔහුගේ මතය වූයේ නිර්මාණකරුවෙකුගේ භූමිකාව විය යුත්තේ ප්‍රශ්න මතු කිරීම මිස ඒවාට විසඳුම් නොදීම බවයි. 

ඇන්ටන් චෙකෝව් උපත ලැබුවේ අති උතුම් ශාන්ත අන්තෝනි මුනිවරයාණන්ගේ සැමරුම් උත්සව දිනකයි. ඔහු 1860 ජනවාරි මස 29 වන දින, හයදෙනෙකුගෙන් යුත් පවුලක තුන්වැන්නා ලෙස දකුණු රුසියාවේ ඇසෝව් මුහුදේ තොටුපළක් වන ටැග්නරොග් හිදි උපත ලැබීය.ඔහුගේ පියා වූ පවෙල් යෙගොරොව්ක් චෙකෝව් කොබෙලිකි අසළ විල්කෝවට්කා ගම් වැසියකු වූ අතර ඔහුට අයත් සිල්ලර බඩු කඩයක් විය. දේවස්ථාන ගීතිකා කණ්ඩායම් මෙහෙයවන්නකු, ඉතා භක්තිමත් කිතුණුවකු වු පවෙල් තම පවුලට ශාරිරික වධ හිංසා පමුණුවා ඇත. චෙකොව්ගේ බොහෝ කෲර චරිත සඳහා අනුරුව ඔහුගේ පියා වූ බව සමහර ඉතිහාසඥයන්ගේ මතයයි. චෙකොව්ගේ මව අතිදක්ෂ කතන්දර පවසන්නියක වූ අතර, ඇය රෙදි පිළි මිල දී ගන්නකු වූ තම පියා සමඟ රුසියාව පුරා කළ සංචාරය පිළිබඳව කතන්දර කියමින් තම දරුවන් විනෝදයට පත් කළාය. චෙකෝව් වරක් “අපගේ කුසලතා අපට ලැබුණේ පියාගෙනි, නමුත් අපගේ ආත්මය අපට ලැබුණේ මවගෙනි” යි පවසා ඇත. චෙකෝව් වැඩිහිටි අවදියේ දී, තම සොහොයුරු ඇලෙක්සැන්ඩර් ඔහුගේ බිරිඳට සහ දරුවන්ට සලකන ආකාරය පිළිබඳ විවේචනය කළේ තම පියාගෙන් වූ පීඩනය සිහිගන්වමිනි. “මම ඔබෙන් ඉල්ලා සිටිනවා මතක් කරගන්නා ලෙස අපේ මවගේ තාරුණ්‍ය විනාශ වූයේ ඒකාධිපත්‍ය සහ බොරුව නිසාවෙන් බව. ඒකාධිපත්‍ය සහ බොරුව නිසා අමිහිරි වූ අපේ ළමා කාළය ගැන සිතීම පවා සිතේ ඇති කරන්නේ භයක් හා පිළිකුලක්. මතකද අපට ඇතිවුණ භය සහ පිළිකුල අපේ පියා රෑ කෑම වේල අතරතුර ලුණු වැඩි යැයි කෝපයෙන් මවට බැණ වැදුණ විට, ඇයට මෝඩයෙකුයි දොස් කියන විට”

ඇන්ටන් පැවිලොවික් චෙකොව් උපන් නිවසචෙකොව් උපන් නිවස

තරුණ චෙකෝව් 1882 දී

 

 

චෙකෝව් පළමුව ග්‍රීක පිරිමි ළමුන් සඳහා වන පාසලටද දෙවනුව ටැගන්රොග් හි gymnasium පාසලටද ඉගෙනුම සඳහා ඇතුළත් විය. වර්තමානයේ චෙකෝව් gymnasium ලෙස නම වෙනස් වූ මෙම පාසලේදී, චෙකෝව් හට ග්‍රීක විභාගය අසමත් වීම නිසා වසරක් යනතුරු ඉහළ පන්තියට යෑමට නොහැකි ව ඇත. මෙකල ඔහු ග්‍රීක ලබ්ධික දේවස්ථාන්යේ තම පියාගේ ගීතිකා කණ්ඩායමේ ගායනයට ද එක් විය. 1892 දි ඔහු ලියූ ලිපියක, තම ළමා කාලය විස්තර කිරීමට ඔහු “වේදනාව”යන වචනය භාවිත කර තිබුණි. ඔහු සිහිපත් කරන පරිදි :

“මම සහ මගේ සොහොයුරන් දේවස්ථානය මධ්‍යයේ නැඟී සිට “May my prayer be exalted”,හෝ “The Archangel’s Voice” වැනි ගීතිකා ගායනය කරද්දී එහි සිටි හැමදෙනම අප දෙස ආදරයෙන් බලා අපේ දෙමව්පියන්ට ඊර්ෂ්යා කළා අපේ දස්කම් ගැන. නමුත් ඒ මොහොතේ අපට දැනුනේ අප කුඩා හිරකරුවන් ලෙසින්”

ආගමික පසුබිමක් සහ අධ්‍යාපනයක් තිබුණ ද පසු කලෙක චෙකෝව් අදේව දෘෂ්ටිකයෙකු විය.

ටැග්නරොග් පිරිමි ගෘහස්ථ ක්‍රීඩාංගණය,19 වන සියවස අගභාගයේ දි, මුදුනෙහි ඇති කුරුසය වර්තමානයේ නොපවතී.

තරුණ චෙකෝව්ගේ චිත්‍රයක් දේශීය ඇඳුමින්

තරුණ චෙකෝව් (වම) තම සොයුරු නිකොලාය් සමඟ 1882 දී

චෙකොව් පවුල සහ මිතුරන් 1890, (ඉහළ පේළිය, වමේ සිට දකුණට”) අයිවන්, ඇලෙක්සැන්ඩර්,පියා; (දෙවන පේළිය) මිතුරෙක්,ලයිකා මිසිනෝවා,මාෂා,මව,සෙරිඕසා කිස්ලෙව්; (පහළ පේළිය) මිශා, ඇන්ටන්

 

 

චෙකෝව් ගේ පියා නව නිවසක් තැනීමට අනවශ්‍ය ලෙස තම ධනය වියදම් කිරීම නිසා 1876 වසරේදී බංකලොත් භාවයට පත් විය. ණය ගෙවීමට නොහැකි ව සිරගත වීමෙන් වැළකීම සඳහා ඔහු සිය පවුල සමඟ මොස්කව් නුවරට පලා ගියේය. ඒ කාලයේ ඔහුගේ වැඩිමහල් පුතුන් දෙදෙනාද විශ්වවිද්‍යාල අධ්‍යාපනය ලබමින් මොස්කව් නුවර සිටියෝය. මෙකල පවුලේ පැවති අඟහිඟ කම් හා දරිද්‍රතාවය නිසා චෙකෝව් ගේ මව මානසිකව මෙන්ම ශාරිරිකව ද දුර්වල වූවාය. මේ කාලයේ චෙකෝව් පවුලේ දේපල විකිණීමටත් ඉගෙනුම අවසන් කිරීමටත් ටැගන්රොග්හි ම රැඳී සිටියේය.

චෙකෝව් වසර තුනක කාලයක් ටැගන්රොග්හි වාසය කළේය.ඔහු මෙකල නවාතැන් ගෙන සිටි නිවසේ හිමිකරු සෙලිවනොව්, චෙකෝව් පවුල ඔහුට තිබූ ණය ඔවුන්ගේ නිවසේ වටිනාකම වෙනුවෙන් නිදහස් කළේය.පසු කළෙක චෙකෝව් ඔහුගේ “The cherry Orchard ” හි ලොපවික් චරිතයට සෙලිවනොව්ගේ චරිතය ආභාස කොට ගෙන තිබුණි. චෙකෝව් තම අධ්‍යාපන වියදම් සඳහා පෞද්ගලික උපකාරක පන්ති පැවැත්වීමෙන්, ගෝල්ඩ් ෆින්චස් කුරුල්ලන් අල්ලා විකිණීමෙන් සහ පුවත්පත් සඳහා ලුහුඬු විස්තර සැපයීමෙන් මුදල් සපයා ගත්තේය. ඉතිරිකර ගත හැකි හැම රූබලයක්ම මොස්කව් නුවර සිටි තම පවුලට යැවූ ඔහු ඒ සමඟ ඔවුන් සතුටට පත් කිරීම සඳහා විනෝදකාමි ලිපි යැවිමටද අමතක නොකළේය.මේ කාළය තුල ඔහු කියවීම පුළුල්ව හා විශ්ලේෂණයෙන් යුතුව කලේය. ඔහු සෙර්වන්ටෙස්, ටර්ජනෙව්, ගොන්කරොව් සහ ශොෆින්හෝර් යන ලේඛකය්න්ගේ කෘති පරිශීලනය කළේය. ඔහු “Fatherless” නමින් රචනා කළ හාස්‍යජනක නාට්‍යය ඔහුගේ සොහොයුරු ඇලෙක්සැන්ඩර් විසින් බැහැර කරන ලද්දේ “සමාව දිය නොහැකි එහෙත් අහිංසක ප්‍රබන්ධයක්” යැයි කියමිනි. චෙකෝව් හට ආදර සබඳතා ගණනාවක්ම තිබූ අතර ඔහුට වරෙක ගුරුවරයෙකුගේ බිරිඳක සමඟ ද සබඳතාවයක් තිබුණි.

1879 දී තම පාසල් අධ්‍යාපනය නිම කළ චෙකෝව් සිය පවුල සමඟ විසීමට මොස්කව් නුවර බලා ගියේ A.I Sechneov First Moscow State වෛද්‍ය විද්‍යාලයේ වෛද්‍ය උපාධිය හැදැරීමට සුදුසුකම් සහිතවය.

චෙකොව්ගේ සම්භාව්‍ය පෙනුම, නාසික උපැස, හිස්වැසුම, බෝ ටයි

මෙලික්හෝවො, වර්තමානයේ කෞතුකාගාරයකි

ඇන්ටන් චෙකොව් 1893 දී

 

මේ අවධියෙහි චෙකෝව් සිය පවුලෙහි වගකීම කරට ගෙන ක්‍රියා කළේය. පවුලට උපකාර කිරීමටත් තම අධ‍යාපන වියදම් සඳහාත් ඔහු එකල රුසියානු ජීවිතය පිළිබඳව කෙටි හාස්‍යජනක සටහන්, විසිතුරු කෙටි රචනා විවිධ ආරූඪ නම් යටතේ රචනා කළේය. “Antosha Chekhonte” (Антоша Чехонте) හා “Man without a Spleen” (Человек без селезенки) මෙවැනි ආරූඪ නම් දෙකකි. මෙම නිර්මාණ හේතුවෙන් රුසියානු වීථී ජීවිතය පිළිබඳව උපහාසාත්මකව සිදුවීම් වාර්ථා කරන්නකු ලෙස ඔහුට ප්‍රසිද්ධියක් ලැබුණි. 1882 වන විට ඔහු එවකට ප්‍රමුඛ පෙළේ ප්‍රකාශකවරයෙකු වූ නකොලායි ලෙයිකින් සතු වූ “Oskolki (Fragments)” නම් සඟරාවට ලිපි ලියුවේය. චෙකෝව්ගේ මෙකල නිර්මාණයන්හි භාෂාව හැසිරවීම ඔහුගේ පසුකාලීන පරිණත ප්‍රබන්ධ වල බස හැසිරවීමට වඩා රළු විය.

1884 දී චෙකෝව් වෛද්‍යවරයෙකු ලෙස සුදුසුකම් ලැබීය. ඉන් ඔහු සෙවූ මුදල් ප්‍රමාණය සුළු වුවත් දුප්පතුන්ට නොමිලේ ප්‍රතිකාර කළ චෙකෝව් තම ප්‍රධාන වෘත්තිය ලෙස සැලකුවේ වෛද්‍ය වෘත්තියයි. 1884 හා 1885 කාලයේදී චෙකෝව් හට කැස්ස සමඟ ලේ යාමේ තත්වයක් හට ගත් අතර 1886 වන විට එම තත්වය උත්සන්න විය. නමුත් ඔහු තම පවුලට ඔහුගේ රෝගී තත්වය එනම් ක්‍ෂය රෝගයවැළඳී ඇති බව සැඟවූයේය. පළමුවෙන්ම ඔහු මේ බව දැන්වූයේ ලෙයිකින්ටය. එම අවස්ථාවේ “මට මගේ හිතවතුන් සමඟ කථා බහ කිරීමට භයක් දැනෙනවා” යැයි ඔහු පවසා ඇත. නමුත් ඔහු නොකඩවා සතිපතා සඟරා වලට ලිපි ලියුවේය. එමඟින් හොඳ ආදයමක් ඉපැයීමෙන් තම පවුල වඩා හොඳ තත්ත්වයකට ගෙන ඒමට ඔහුට හැකි විය. 1886 වසරේ මුල් භාගයේදී චෙකෝව් හට ශාන්ත පීටර්ස්බර්ග් හි ඉතා ප්‍රචලිත Novoye Vremya (New Times) පුවත්පතෙහි ලිපි ලිවීමට ආරාධනාවක් ලැබුණි. මෙම පුවත්පතෙහි අයිතිය සහ සංස්කරණ කටයුතු කෙරුණේ ධන කුවේරයකු වූ ඇලෙක්සි සුවොරින් විසිනි. ඔහු චෙකෝව් හට එක් පේළියක් සඳහා ලෙ‍යිකින් ගෙවූ මුදලට වඩා දෙගුණයක් ගෙවූ අතර ලෙ‍යිකින්ගේ පුවත්පතේ හිමි වූ ඉඩට වඩා තුන් ගුණයක් ඉඩ වෙන් කළේය. පසුකලෙක චෙකෝව්ගේ සමීපතම සහ දිගුකාලීන මිතුරා වූයේ මොහුයි.

 

වැඩිකල් යාමට පෙර චෙකෝව් සාහිත්‍ය හා සම්බන්ධව ආකර්ෂණයක් මෙන්ම පොදු අවධානයක් ද දිනා ගත්තේය. එකල හැට දෙහැවිරිදි වියේ වූ සුප්‍රසිද්ධ රුසියානු ලේඛකයෙකු වූ ද්මිත්‍රි ග්‍රිගොරොවික් චෙකෝව්ගේ කෙටි කථාවක් වූ “The Huntsman” කියවීමෙන් අනතුරුව ලිපියකින් ඔහුට මෙසේ දැන්වීය. “ඔබට ඇත්තේ අව්‍යාජ දක්ෂතාවයකි. එම දක්ෂතාවය හේතුවෙන් ඔබ නව පරපුරේ රචකයන් අතුරින් ප්‍රමුඛතම ස්ථානයක් ලබාගෙන ඇත” තවද ඔහු චෙකෝව්ට අවවාදයක් ලෙස පවසා සිටියේ නිර්මාණ කාලය ගෙන සිදු කරන ලෙසත් සාහිත්‍යමය වටිනාකමක් නිර්මාණ වලට එක් කිරීමට අවධානය යොමු කරන ලෙසත්ය.

මෙයට පිළිතුරු සපයමින් චෙකෝව් පවසා සිටියේ මෙම ලිපිය ඔහුගේ සිතට අකුණු සැරයක් මෙන් තදින් කා වැදුණු බවයි. තවද ඔහු පාපොච්චාරණ්යක අයුරින් කියා සිටියේ “මම මගේ කෙටි කථා රචනා කළේ වාර්ථා කරුවෙකු ගින්නක් පිළිබඳව සටහන් තබන්නාක් මෙන්, අඩ සිහියෙන්, පුරුද්දකට මෙන්, මා පිළිබඳව හෝ කියවන්නා පිළිබඳව මා සැලකුවේ නැත“යි යනුවෙනි. මෙම පිළිගැනීමෙන් චෙකෝව්ට යම් අනර්ථයක් සිදු වුනි. මන්ද මින්පෙර අත් පිටපත් මඟින් හෙළි වී තිබුණේ ඔහු දැඩි අවධානයෙන් රචනයෙහි යෙදෙන බවත් එනිසා ඔහු නිතර ම ප්‍රකාශයට පෙර තම නිර්මාණ වෙනස් කරන බවත්ය.කෙසේ වෙතත් ග්‍රිගොරොවික්ගේ උපදෙස නිසා වඩාත් කල්පනාකාරි කලාත්මක අභිප්‍රායකට විසිහය හැවිරිදි වියේදි චෙකෝව් යොමු වූයේය. 1887 දී ග්‍රිගොරොවික්ගේ සුළු බලපෑමක්ද සහිතව චෙකෝව්ගේ “At Dusk (V Sumerkakh)” නම් කෙටි කථා සංග්‍රහය “ඉහළ කලාත්මක රසයක් ඇති විශිෂ්ටතම සාහිත්‍ය නිර්මාණය” සඳහා වන පුෂ්කින් ත්‍යාගය දිනාගන්නා ලදී.

ඔසිප් බාර්ස්: ” ඇන්ටන් චෙකෝව්ගේ පිළිරුව”

චෙකෝව් ලියෝ ටෝල්ස්ටෝයිසමඟ යල්ටා හි දී, 1900

චෙකොව් සහ ඔල්ගා, 1901, මධුසමයට ගිය අවස්ථාවේ

 

 

එක් වසරක අධික වැඩ කිරීමෙන්ද අසනීප තත්ත්වයෙන්ද අතිශයින් වෙහෙසට පත් වූ චෙකෝව්, චාරිකාවක් සඳහා යුක්රේනය බල පිටත් වුණේය. මේ ගමනේදී ස්ටෙප් තණ බිම් වල අලංකාරය කෙරෙහි ඔහුගේ අවධානය යොමු විය. නැවත එන ගමනේදී ඔහු කෙටි කථා වෘතාන්තයක් ලෙස [The Steppe] , “එක් අතකට විෂම එක් අතකට ප්‍රකෘති, යමක්” රචනය ඇරඹුවේය. පසුව මෙය Severny Vestnik (The Northern Herald). සඟරාවේ ප්‍රකාශයට පත් විය. සිදුවීම් පෙළක් ගලා යන ලෙස දක්වමින් චෙකෝව් , ස්ටෙප් තණ බිම් හරහා කුඩා අශ්ව කරත්තයකින් පූජකයෙකු හා වෙළෙන්දකු සමඟින් යන ගමන පිළිබඳව නිවසින් ඈත්ව විසීමට යවන ලද කුඩා ළමයෙකුගේ ඇසින් ගෙන හෑර පෑම මේ කෘතියේ විශේෂත්වයයි. The Steppe කෘතිය චෙකෝව්ගේ කාව්‍ය ශාස්ත්‍රයේ ශබ්ද කෝෂය ලෙස හැඳින්වේ. මෙම කෘතිය ඔහුගේ පරිකල්පිත ශක්තියෙහි පරිණත බව විදහා පෑවේ සාහිත්‍ය සංග්‍රහයක් ලෙස පාඨකයන්ගේ සිත් ගනිමිනි.

1887 සරත් කාලයේ දී රඟහල් කළමනාකරුවකු වූ කෝර්ෂ් ගේ ඉල්ලීමකට අනුව චෙකෝව් විසින් සති දෙකක කාලයක් ඇතුළත රචිත Ivanov නම් නාට්‍ය නොවැම්බර් මසදී නිෂ්පාදනය විය. මෙම නාට්‍යය නිෂ්පාදනයේදී වූ අවුල් සහගත භාවය පිළිබඳ සඳහන් කරමින් චෙකෝව් තම සොහොයුරු ඇලෙක්සැන්ඩර් හට ලිපියක් යවා තිබුණද පසුව මෙම නිර්මාණය ජනාදරයට මෙන්ම පැසසුමට ද ලක් වූ අපූර්ව නිර්මාණයක් වුණි. මිකායිල් චෙකෝව් Ivanov සැලකූයේ තම සොහොයුරාගේ සාහිත්‍ය දිවියේ ප්‍රඥ වර්ධනය සලකුණු කරන්නක් ලෙසයි. මෙම කාල සීමාවේදී ඉලියා ගර්ලිය්න්ඩ්, චෙකෝව් සමඟ කළ සාකච්ඡාවකින් පසුව සඳහන් කළ පරිදි, චෙකෝව් කළ ප්‍රකාශයක් පසුව “Chekhov’s gun” ලෙස ප්‍රචලිත විය. “පළමු රංගන අංකයේදි ඔබ බිත්තිය දෙසට පිස්තෝලයක් එල්ල කරගෙන සිටී, එය අවසාන අංගයේදි පත්තු විය යුතුයි.”

ඔහුගේ සොයුරු නිකොලායි ක්ෂය රෝගයෙන් 1889 දී මිය යාමත් සමඟ චෙකෝව් A Dreary Story රචනා කළේය. මෙහි සඳහන් වනුයේ තමා මෙතෙක් ජීවිතයේ නිසි අරමුණක් නැතිව ජීවත් වූ බව තේරුම් ගනිමින් ජීවිතයේ අවසාන කාලයට මුහුණ දෙන පුද්ගලයෙකු පිළිබඳවයි. මිකයිල් චෙකෝව්, නිකොලායිගේ මරණය නිසා තම සොයුරා මුහුණ දී ඇති අවපීඩනය හා අසහනය හැඳිනගත්තේය. මිකයිල් මේ කාලය තුළ තම නීති අධ්‍යන කටයුතු සඳහා හිරගෙවල් පිළිබඳ ගවේෂණයක යෙදී සිටියේය. මේ කාලයේ යෙදීමට යම් කාර්යයක් සොයමින් සිටි චෙකෝව්ද ගවේෂණයට උපකාර කිරීමට පැමිණි අතර පසුව ඔහු හිරගෙවල් ප්‍රතිසංස්කරණය පිළිබඳව ඇති ගැටළු පිළිබඳව සෙවීමේ දැඩිව නිරත විය.

1890 දී චෙකෝව් සංගණනයක් සඳහා, රුසියාවේ නැඟෙනහිර කෙළවර, කැටෙරෝගා හා දඬුවමට යටත් වූවන් වෙසෙන උතුරු දිග ජපානයේ සැඛලින් දූපතට තුන් මසක කාලයක් සංචාරයේ යෙදුණි. දුම්රියෙන්, අශ්ව කරත්තයෙන්, දුම් බෝට්ටු මඟින් ගමන් කළ මෙම සංචාරය දුෂ්කර එකක් විය. මෙහි දී ඔහු දහස් ගණන් අළුතින් පදිංචි කරුවන් සහ වැරදි කරුවන් සමඟ සාකච්ඡා කළේය. මාස දෙකහමාරක් තුළ ඔහු සැඛලින් හි කළ සංචාරය පිළිබඳ ලියන ලද ලිපි ඔහුගේ රචනයන් අතුරින් විශිෂ්ට ගණයේ ලා සැලකේ. මේ අතරින් ඔහු තම සොයුරියට ටොම්ස්ක් පිළිබඳ ලියූ ප්‍රකාශ ප්‍රසිද්ධියට පත් විය.

“ටොම්ස්ක් සිත් නොගන්නා නගරයකි. මා හඳුනා ගත් බේබද්දන්ද, මට ගෞරව දැක්වීමට හෝටලයට පැමිණි බුද්ධිමත් පුද්ගලයන් පමණක් නොව එහි පදිංචි කරුවන්ද සිත් නොගන්නා සුළුය.”

පසුව මෙයට පිළිතුරු දීමක් ලෙස ටොම්ස්ක් වැසියන් චෙකෝව් ගේ විසුළු ආකාරයේ පිළිරුවක් නගරයේ ඉදි කළේය.

සැඛලින් හිදී චෙකොව් දුටු යම් සිද්ධීන් ඔහු කෝපයට පත් කළේය. තාඩන-පීඩන, සැපයුම්කරුවන්ගේ වංචා කිරීම්, බලෙන් කාන්තාවන් ගණිකා වෘත්තියට යොමු කිරීම් මෙවැනි සිද්ධීන්ය. “ඇතැම් විට මිනිසුන්ගේ ආත්මගෞරවය කෙලසීමේ අන්තයට ගිය අවස්ථා මම දුටුමි“යි ඔහු ලීවේය.

චෙකෝව් පසුව ප්‍රකාශ කළ පරිදි පරිත්‍යාග සහ දීමනා මෙහි පැවති ගැටළු වලට විසඳුම් නොවීය. නමුත් මෙහි සිටි අයට මුදල් සැපයීමේ වැඩපිළිවෙලක අවශ්‍යතාවය රජයට තිබුණි. චෙකෝව්ගේ සොයා ගැනීම් 1893 හා 1894 දී Ostrov Sakhalin (සැඛලින් දූපත ) නමින් ප්‍රකාශයට පත් විය. මෙය සාහිත්‍යමය නිර්මාණයකට වඩා සමාජ විද්‍යාව පිළිබඳ ලියැවුණු තොරතුරුමය වැදගත්කමක් සහිත නිර්මාණයක් විය. චෙකෝව් තම දිගු කෙටි කථාවක් වූ The Murder  හි Hell of Sakhalin යන්න සාහිත්‍යමය ප්‍රකාශනයක් ලෙස භාවිත කළේය. මෙම කෘතියෙහි අවසාන පරිච්ඡේදයේ සැඛලින් දූපතේ සිටියදී නිවසට යාමේ දැඩි ආසාවෙන් යුතුව, යකොව් නම් මිනීමරුවා රාත්‍රී කාලයේ අඟුරු පටවමින් පසුවන අවස්ථාවක් විස්තර කෙරේ. චෙකෝව් සැඛලින් පිළිබඳව රචනා කිරීමේදී ජපන් ජාතික හරුකි මුරකාමිගේ 1Q84 නවකතාව ආභාසයට ගෙන තිබුණි.

1892 දී චෙකෝව්, මොස්කව් නුවරට දකුණු දෙසින් මයිල හතළිහක් පමණ දුරින් පිහිටි මෙලිඛොවො හි කුඩා වතු යායක් මිල දී ගත්තේය. ඔහු මෙහි සිය පවුල සමඟ 1899 වන තුරු වාසය කළේය. “ඉඩම් හිමියෙකු වීම සතුටක් ” යනුවෙන් ඔහු තම මිතුරකු වූ ඉවාන් ලියෝට්යෙව් සමඟ හාස්‍යමුඛයෙන් යුතුව කතා කර ඇත. නමුත් පසුව ඔහු ඉඩම් හිමියෙකු සතු වගකීම් සිතට ගෙන හරියාකාරව ඉටු කළ අතර ගම් වාසින්ටද සෙත සැලසීය. ඔහු 1892 වසරේදී කොලරාව පැතිරීමෙන් හා දුර්භික්ෂය නිසා අසරණ වූ මිනිසුන්ට සහන සැලසීමට අමතරව පාසල් තුනක්, සායනයක් සහ ගිනි නිවන මධයස්ථානයක් ඉදි කිර්‍රිමටද උපකාර කළේය. තවද ඔහු නිතර මතු වූ ක්ෂය රෝගයෙන් වූ පීඩාද අමතක කර තම වතු යාය අවට සිටි ගැමියන් හට නොමිළේ ප්‍රතිකාර කිරීමටද කටයුතු කළේය.

මිකායිල් චෙකෝව්, මෙලිඛොවො හි නිවසේ වාසය කළ අයෙක් ලෙස තම තම සොයුරාගේ වෛද්‍ය වෘත්තියට වූ කැපවීම, මෙසේ විස්තර කළේය.

“චෙකොව් මෙහි පැමිණි පළමු දිනයේ සිටම, මෙහි සිට මයිල විස්සක් පමණ ඈත සිට විශාල පිරිස් කණ්ඩායම් මඟින් බෙහෙත් ගැනීමට පැමිණියා. ඔවුන් පයින් හෝ කරත්ත මඟින් රැඟෙන ආවා. ඒ අතර දුර බැහැර රෝගීන් දැකීමට ඔහු කැඳවාගෙනද ගියා. සමහර දිනවල උදෑසන ඔහු නැඟිට දොර අරින තෙක් ගැමි කතුන් හා දරුවන් එළියේ සිටගෙන බලා සිටි අවස්ථාද තිබුණා” 

බෙහෙත් සඳහා චෙකෝව් දැරූ වියදම් සැලකිය යුතු තරම් විය. නමුත් වඩාත්ම පාඩුව වූයේ දුර බැහැර රෝගීන් දැකීමට ගතවන කාලය නිසා ඔහුගේ නිර්මාණ සඳහා වන කාලය අඩු වීමයි. කෙසේ නමුත් වෛද්‍යවරයෙකු ලෙස චෙකෝව් ලද අත්දැකීම් ඔහුව රුසියානු සමාජයේ විවිධ පැතිකඩ වලට සමීප කිරීමට සමත් වූ බව කියැවේ. උදාහරණයක් ලෙස එකගොඩේ වාසය කිරීමට ගැමියන් තුළ තිබූ පුරුද්ද හා ඔවුන්ගේ හානිකර සෞඛ්‍ය පුරුදු අවධානයට ලක් කරගත් චෙකෝව්, ඔහුගේ කෙටි කතාවක් වූ Peasants හි මෙම ලක්ෂණ පෙන්නුම් කර තිබුණි. මෙම කාලය තුල චෙකෝව් ඉහළ පන්තියේ ප්‍රභූන් දැකීමටද ගියේය. එපිළිබඳ ඔහු තම සටහන් පොතේ මෙසේ සටහන් කර තිබුණි. “රදළයන්? ඔවුන් සිදාදියේ ගැහැණුන් මෙන් කැත ඇඟවල් සහිත අපිරිසිදු වූ, දත් හැලී ගිය මහළු කාලයක් හා පිළිකුල් සහගත මරණයක් හිමි පිරිසක්ය”

චෙකෝව් The Seagull නාට්‍යය රචනය ඇරඹියේ 1894 දී, මෙලිඛොවො හි පළතුරු වත්තක ඉදි කළ උද්‍යාන ගෘහයක සිටයි. වතුයායේ වාසයට පැමිණි දෙවසර තුළ චෙකෝව්, එහි නිවස ප්‍රතිසංස්කරණයටද, ගෙවතු වගාව හා කෘෂිකර්මය නඟා සිටුවීමටද, පළතුරු වත්ත හා තටාකය නඩත්තුවටද, අළුතින් පැළ සිටුවීමටද කාලය මිඩංගු කළේය. ඔහු සොයුරු මිහයිල්ට අනුව චෙකෝව් වතු යාය රැක බලාගත්තේ තම දරුවන් රැකබලාගන්නාක් මෙනි. එය ඔහුගේ Three Sisters කෘතියේ කර්නල් වර්ශිනින්, සොයුරියන් රැක බලාගනිමින් ඔවුන් තව තුන්සිය/හාරසිය වසරකින් පසු කෙසේ වේවි දැයි සිහින මැවූ ආකාරයට සමානය.

The Seagull නාට්‍යයේ පළමු ප්‍රේක්ෂක දැක්ම 1896 ඔක්තෝම්බර් මස හත් වන දින ශාන්ත පීටර්ස්බර්ග් හි ඇලෙක්සැන්ඩර් රඟහලේදී පැවැත්විණි. නමුත් ප්‍රේක්ෂක අප්‍රසාදය හේතුවෙන් එය අසාර්ථක විය. මේ අවස්ථාවේ චෙකෝව් කම්පනයට ලක්වූයේ රඟහල කමිටුව මඟින් නාට්‍යය පෙන්වීම අත්හැර දැමීමට තීරණය කිරීම නිසයි. නමුත් රඟහල් අධ්‍යක්ෂකවරයකු වූ ව්ලැඩ්මිර් නෙම්රොවික් ඩැන්චෙන්කො ගේ සිතට මෙම නිර්මාණය තදින් කා වැදුණු අතර 1898 දී ඔහු තම මිතුරු කොන්ස්ටන්ට්ය්න් ස්ටැන්ස්ලැව්ස්කිගෙන් මොස්කව් නව කලා රඟහල වෙනුවෙන් මෙම නාට්‍යය අධ්‍යක්ෂණය කරන ලෙස ඉල්ලා සිටියේය. මනෝභාවයන් තාත්ත්විකව නිරූපණය, රංගන කණ්ඩායම් ප්‍රවේසමෙන් හැසිරවීම, දෙබස් මඟින් යමක් සඟවා කීම වැනි උපක්‍රම කෙරෙහි ස්ටැන්ස්ලැව්ස්කිගේ තිබූ උද්‍යෝගය, නාට්‍ය පිටපත් රචනයට චෙකෝව් තුළ තිබූ ආසාව නැවත ස්ථාපිත කිරීමට බල පෑ හේතුවක් විය.කලා රඟහල චෙකෝව්ගේ තවත් නිර්මාණ සඳහා මුදල් ලබා දුන් අතර ඊළඟ වසරේදී චෙකෝව් 1896 දී ලියා නිම කළ Uncle Vanya නම් නාට්‍යය වේදිකාගත විය.

 

1897 මාර්තු මසදී මොස්කව් නුවරට බලා යමින් සිටියදී පෙනහලු වලට ලේ ගලායාම නිසා චෙකෝව් දැඩි ලෙස රෝගාබාධ විය. නිවැසියන්ගේ දැඩි පෙළඹවීමෙන් යුතුව ඔහු සායනයකට ඇතුළත් වූ අතර එහි දී ඔහු පරීක්ෂා කළ වෛද්‍යවරුන්, ඔහුගේ පෙනහැලි වල ඉහළ කොටසේ ක්ෂය රෝගය පැතිරී ඇති බවත් ජීවන රටාවේ වෙනසක් ඇති කරගන්නා ලෙසත් පවසා සිටියේය.

1898 දී තම පියාගේ මරණය සිදු වූ පසු යල්ටා අවට ප්‍රදේශයෙන් ඉඩමක් මිලදී ගත් චෙකෝව් එහි විසල් නිවසක් තනා මව සහ සොයුරිය සමඟ පදිංචියට ගියේය. චෙකෝව් යල්ටා හිදී මල් හා පැළ වවමින් , බල්ලන් සුරතලයට ඇති කරමින් ලියෝ ටෝල්ස්ටෝයි, මැක්සිම් ගෝර්කි වැනි මිතුරන් හමුවෙමින් සුවපත් දිවිපෙවෙතක් ගත කළද ඉන් පිටව මොස්කව් නුවර හෝ විදේශයන්හි සංචාරය ඔහුගේ කැමැත්ත විය. යල්ටා හි විසුවද ජල සැපයුම ස්ථාපිත කළ කාලයක ටැගන් රොග් වෙත නැවත යාමට ඔහු පොරොන්දු වී සිටියේය.මේ කාලය තුළ ඔහු කලා රඟහල සඳහා තවත් නාට්‍යය දෙකක් රචනා කළේය. Three Sisters සහ The Cherry Orchard නම් මෙම නාට්‍යය දෙක රචනයට ඔහුට වසරක් බැඟින් ගත විය.

1901 මැයි මස විසිපස් වන දින චෙකෝව් ඔල්ගා ක්නිපර් සමඟ රහසේ විවාහ වුයේය. එතෙක් චෙකෝව් රුසියාවේ සිටින සාහිත්‍යය ක්ෂේත්‍රයේ වඩාත් අවධානයට ලක් වූ අවිවාහකයා ලෙස ප්‍රසිද්ධියට පත්ව සිටියේය. විවාහය ගැන වරෙක ඔහු සුවොරින්ට මෙසේ ලියුවේය.

ඔබගේ කැමත්ත පරිදි මම කසාදයකට එකඟ වෙන්නම්. නමුත් කොන්දේසි කිහිපයක් සහිතව. මෙතෙක් පැවති සියළු දේ නොවෙනස්ව පැවතිය යුතුයි. මම ගමෙහි වෙසෙන විට ඇය මොස්කව් නගරයේ විසිය යුතුයි. මම පැමිණ ඇය බලා යන පරිදි. මට සොයා දෙන්න සඳක් මෙන් බිරිඳක්, මාගේ අහසේ නිතර පෙනී නොසිටින

මෙම ලිපිය ඔල්ගා සම්ඟ චෙකෝව්ගේ විවාහය පිළිබඳව ඉඟි පැවසුවේය. චෙකෝව් වැඩි කලක් යල්ටාහි විසූ අතර ඔල්ගා තම රංගන දිවියේ යෙදෙමින් මොස්කව් නුවර විසීය. 1902 දී ඔල්ගා ගබ්සා වීමකින් පීඩා වින්දේය. පසු කලෙක ඩොනල්ඩ් රේෆිල්ඩ් විසින් විවාහක දෙපළ හුවමාරු කරගත් ලිපි කියවා දරුගැබ පිළසිඳ ගැනීම ඔවුන් දෙදෙන වෙන්ව සිටියදී සිදු වූවක් විය හැකි බව ප්‍රකාශ කළද පසුව රුසියානු ශාස්ත්‍රඥයන් විසින් මෙය ප්‍රතික්ෂේප කරන ලදී. මෙම දුරස්ථ සම්බන්ධය නිසා ඔවුන් දෙදෙනා හුවමාරු කරගත් ලිපි සාහිත්‍යමය වටිනාකමක් දැරීය. මෙම ලිපි වල ස්ටැනිස්ලැව්ස්කිගේ අධ්‍යක්ෂණ ක්‍රම පිළිබඳ පැමිණිලිත්, චෙකෝව් ඔල්ගා හට ඔහුගේ නිර්මාණ වල රඟ දැක්වීම පිළිබඳව ලබා දුන් උපදෙස්ද සඳහන් ව ඇත.

යල්ටා හිදී චෙකෝව් තමාගේ සුප්‍රසිද්ධ නිර්මාණයක් වන “The Lady with the Dog” (බල්ලා කැටුව යන කාන්තාව) රචනා කළේය. මෙහි නිරූපණය කරන්නේ විවාහක කතක් හා විවාහක පුරුෂයකු අතර වූ අනියම් සබඳතාවයක් පිළිබඳවයි. ඔවුන්ගේ හමුවේ ඉදිරි පැවත්මක් අපේක්ෂා නොකළද , තම පවුල් වල ආරක්ෂාව අනතුරේ හෙළමින් ඔවුන් තම සබඳතාවය ගෙනයන ආකාරය මෙම කෘතියෙහි ගෙනහැර දැක්වේ.

1904 වන විට චෙකෝව් ක්‍ෂය රෝගයෙන් දරුණු ලෙස රෝගාතුර වී සිටියේය. මේ පිළිබඳව මිකයිල් චෙකෝව් පැවසූ පරිදි “ඔහු දුටු පමණින් අපේ සිත් තුළ ඇති වුණේ ඔහුගේ නික්මීම ඈතක නොවේ යන සිතිවිල්ල. නමුත් ඔහු අවසානය කරා ළංවත්ම ඔහු එය විශ්වාස කිරීමෙන් තව තවත් වැළකුනා”. ජුනි මස 03 වැනිදා චෙකෝව් ඔල්ගා සමඟ Black Forest හි Badenweiler නම් ජර්මානු නිවාඩු නිකේතනය කරා ගියේය. එහි සිටියදි තම සොයුරිය මාෂා ට එහි ආහාර හා වටපිටාව අගනා බවත් තමන් සුව වෙමින් පවතින බව මවට දන්වන ලෙසත් සඳහන් කරමින් ලිපි ලියුවේය. ඔහු එසේ ලියූ අවසන් ලිපියේ සඳහන්ව තිබුනේ ජර්මන් කාන්තාවන් අඳිනා අකාරය පිළිබඳව දෝෂාරෝපණයකි.

ඔල්ගා තම සැමියාගේ අවසන් මොහොත පිළිබඳව මෙසේ පැවසුවේය.

“ඇන්ටන් අසාමාන්‍ය ලෙස සෘජුව වාඩි වී පැහැදිලි හා උස් ස්වරයෙන් (ඔහු ජර්මානු බස දැන නොසිටියත්) “Ich sterbe” (“මම මිය යනවා”) යනුවෙන් පැවසුවා. වෛද්‍යවරයා ඔහුව සනසා ඔහුට camphor එන්නතක් ලබා දී ෂැම්පේන් ඇණවුම් කළා. ඇන්ටන් ඉන් වීදුරුවක් පානය කර මා දෙසට හැරී “මම ෂැම්පේන් පානය කළේ දිගු කලකට පසුව” යැයි පැවසුවා. ඔහු තවත් ෂැම්පේන් පානය කළා. ඉන්පසුව නිශ්ශබ්දව වම් ඇලයෙන් ඇඳෙහි හාන්සි වී සිටියා. පසුව මම ඔහු වෙත ගොස් ඇඳට හේත්තු වී ඔහුට කතා කිරීමට උත්සාහ කළ විට ඔහුගෙන් ප්‍රතිචාරයක් තිබුනේ නැහැ. ඔහු කුඩා දරුවකු මෙන් ඉතා සාමකාමීව නිදා සිටියා. ඔහුගේ හුස්ම ගැනිම නැවතී තීබුණා”

චෙකෝව් ගේ මෘත ශරීරය මොස්කව් නුවරට ගෙනැවිත් තිබුණේ නැවුම් බෙල්ලන් ප්‍රවාහනයට යොදාගන්නා ශීත කළ දුම්රියකිනි. මෙම ක්‍රියාව පිළිබඳව මැක්සිම් ගෝර්කිඅමනාප වීද තිබුණි. චෙකෝව්ගේ අවමංගල්‍යයට පැමිණි දහසක් දෙනා වැරදීමකින් එදිනම පැවති ජෙනරල් කෙලර් නමැත්තකුගේ අවමංගල්‍යය පෙරහැරට සහභාගී වී තිබුණි. නොවොඩෙවිකි සොහොන් බිමෙහි වූ චෙකෝව්ගේ පියාගේ සොහොන අසළින්ම චෙකෝව්ගේ සිරුර භූමිදානය කරන ලදී.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *