කතරගම දෙවියන්න්ට මූණු හයයි අත් දොළහයි ඝන දෙවියන්ට ඇත් රූපෙකුයි ආ හැටි …..

කවුද ගණ දෙයියෝ කියන්නේ? දන්නවද ගණ දෙවියෝ හැදිච්ච හැටි ? හොදයි එහෙනම් දැන ගන්න…

ඔන්න විෂ්ණු දෙවියෝ දවසක් ලස්සන ගෑනු රුපයක් මවගත්තලු. තව ළමයි හත් දෙනෙකුත් මවා ගත්තා ලු. ඔහොම මවා ගත්තට පස්සේ ඊශවරයි උමායි අවාලු ඔතනට. උමා දැක්කලු මේ ළමයි හත් දෙනා. දිග කතාවක් හැබැයි මේ කෙටියෙන් කියන්නේ. උමා දැනගත්තා ලු මේ කව්රුත් නෙවෙයි මගේ අයියා කියලා. ” මොකද අයියේ මෙච්චර දරු කන්දක්!!! ” කියලා දුවගෙන ඇවිල්ලා මේ ළමයි හත් දෙනාව එකට තියලා බදාගත්තා ලු. බදා ගත්තම ළමයි හත් දෙනාම එක්කෙනෙක් උනා ලු. එක්කෙනෙක් වෙලා මුණු හයකුයි අත් දොළහකුයි ආවලු. දැන් නිකන් හිතලා බලන්න කොලු පැටවුන්ට තියෙන්නේ අතුයි, ඔලුයි විතරද? කකුලුත් තියෙනවා තව තව අඟ පසඟ තියෙනවනේ. දැන් ඉතින් එක්කෙනෙක් වෙලා ඔලු හය හිටපු විදිහටයි, අත් දොළහ හිටපු විදිහටයි අනිත් අනිත් අඟ පසඟ පිහිටියා නම් කතරගම දෙවියෝ මොන වගෙ ඇත්ද? එහෙම වෙන්න ඕනේ නේද?

ඔන්න දැන් ඔය කතරගම දෙවියන්ට නෝනලා දෙන්නෙක් හිටියා ලු. තේවානි අම්මයි , වල්ලි අම්මයි.

 

ඉතින් කතරගම දෙවියන්ගේ පලවෙනි බිරිය තමයි තෙවානී අම්මා. තෙවානී අම්මත් එක්ක කසාදෙ හරි ගිහිල්ලා නෑ. ඔහේ රස්තියාදු ගගහා හිටියලු. ඔහොම ඉන්නකොට තව කෙල්ලෙක් දැක්කලු. එයාගේ නම වල්ලි අම්මා. දැන් වල්ලි අම්මගේ පස්සෙන් යන්න පටන් ගත්තලු. වල්ලි අම්මගේ පස්සෙන් කතරගම දෙවියෝ යන්න ගත්තම වල්ලිඅම්මා දැන් බය වුනා. මොකද වල්ලි අම්මට එක ඔළුවයි අත් දෙකයි, කතරගම දෙවියන්ට ඔලු හයයි අත් දොළහයි. මේක දැකපු වල්ලි අම්මට හිතෙන්න ඇති ඔලුයි අතුයි මේ වගේ නම් අනිත් අඟ පසඟ කොහොමද කියලා.

කතරගම දෙවියොත් වැඩේ අත ඇරියේ නෑ. ඒත් පොඩ්ඩක් අප්සට් ගහලා ඉන්නකොට මල්ලි අවා. මල්ලි ඇවිල්ලා ඇහුව මොකද මේ කියලා. මල්ලිට කිව්වා විස්තරේ මොකද කියලා. කිව්වම මල්ලි කිව්වා අයියෝ සිම්පල් නේ වැඩේ, මම කරලා දෙන්නම් කෝ. මෙන්න මේ පැන් කෙන්ඩියත් අරන් යන්න ගඟේ අහවල් තැනට. වල්ලි අම්මා ඔතනට තමයි නාන්න එන්නේ. වල්ලි නාන්න අවාම මම එන්නම් පිඹගෙන හොඳ ඇත් වේශයක් මවාගෙන. ඔයා ඒ හරියේ ඉන්න වල්ලි බය වෙලා පනිනේ ඔයාගේ ඇගට.එතකොට වැඩේ හරි. ඔයා ඔයාගේ වැඩේ කරගන්න හැබැයි පැන් කෙන්ඩියේ වතුර ටික නම් මගේ ඇඟට ගහන්න ඕනේ මගේ ඇත් වේශය මාරු කරගන්න. නැත්තන් ඇත් වේශය වෙනස් වෙන්නේ නෑ ” කියලා .

ඉතින් ඒ විදිහටම පිඹගෙන එන ඇතාට බය වෙලා වල්ලි අම්මා ඇඟට පැන්නා. වල්ලි ඇගට පැන්න ගමන් මල්ලිව අමතක උනා. අමතක වෙලා වල්ලි අම්මයි කතරගම දෙයියොයි දගලන්න ගිහිල්ලා පැන් කෙන්ඩියත් ඉහිරුනා.

 

දැන් මල්ලි ඇවිල්ලා බලනකොට පැන් කෙන්ඩියත් ඉහිරිලා. තරහා ගිහිල්ලා එහෙට මෙහෙට දගලනකොට දළත් කැඩිලා ගියා කොහෙද වැදිලා. දැකලා තියෙනවනේ දැන් ගණ දෙයියෝ කැඩිච්ච දළත් අතේ තියන් ඉන්නවා කරගත්ත මෝඩකම කියලා. ඉතින් කතරගම දෙයියෝ මේක දැකලා ඉහිරිලා තිබ්බ පැන් කෙන්ඩියෙන් ඉතුරු වෙලා තිබ්බ පැන් ටික අරන් ගැහුවා ඔහේ කරන්න දෙයක් නැති තැන අවස්ථාවේ හැටියට. ඒ ගහපු ගමන් පැන් ටික වැදුනේ පස්ස පැත්තේ. පස්ස නම් හරි ගියා, ඉස්සරහ නම් එහෙම්ම හිටියා. අන්න ඒ දෙයියෝ තමයි ගණ දෙයියෝ කියලා අදටත් වඳින්නේ.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *