කලාව නිසා ගෙදරින් කන්න දුන්නෙත් නැහැ

ඔහු මෙරට සිටින අපූර්වතම කලාකරුවෙකි. ඔහුගේ රංගනයේ ප්‍රතිභාව හඳුනාගැනීමට ඔහු වුවණේ ඇඳෙන එක් ඉරියව්වක් වුවද ප්‍රමාණවත්ය. වේදිකාව, පුංචි තිරය, සිනමාව යන ත්‍රිවිධ මාධ්‍යන්හිම කැපී පෙනෙන තරුවක් වූ ඔහු ප්‍රවීණ රංගන ශිල්පී සරත් කොතලාවලය. සරත්ගේ සොඳුරු කැදැල්ලට අපි මෙවර ගොඩවැඳුණේ ඔවුන් පිළිබඳ තොරතුරු ඔබ වෙත ගෙන එන්නයි.
මේ දිනවල ඔබ කලා නිර්මාණ රැසකින් හමුවෙන චරිතයක්?
‍ඇත්තටම. මේ දවස්වල වේදිකාව, ටෙලිනාට්‍ය වගේම චිත්‍රපට නිසාත් අවිවේකී ජීවිතයක් තමයි ගත කරන්නේ.
ඒ කියන්නේ ගෙදර රැඳෙන්න වෙලාවක් නැහැ වගේ?
මේ මාසෙටම වැඩ පිරිලා. ගෙදර රැඳෙන්නට කාලය තරමක් අඩුයි. පුංචි හරි විවේකයක් ලැබුණොත් ඉතින් ඒ වෙලාවේ බිරිය දරුවන් සමඟ ගෙදරම තමයි රැඳෙන්නේ.
මේ දවස්වල ඔබ රංගනයෙන් දායක වූ නිර්මාණ මොනවාද?‍
ඩොක්ටර් නවරියන් චිත්‍රපටය වගේම වේදිකා නාට්‍ය, ටෙලි නාට්‍ය කිහිපයකටම මම දායක වුණා. ඒවා ප්‍රේක්ෂකයන් අතරට ඇවිත් තිබෙනවා.
ඔබ කලාවට එක් වූ ඒ අතීතය මතකද?
හොඳට මතකයි. මම කලාවට එක්වෙන්නේ අහඹු විදිහට. මගේ ගම් ප්‍රදේශය හෝමාගම. මම උසස් පෙළ හදාරන්නේ වාණිජ විෂය ධාරාවෙන්. ඒ 1989දියි. ඒ කාලෙ අහම්බෙන් වගේ අපේ ගමේ පන්සලේ නාට්‍යයක් කරන්න ඕන වුණා. ඒ නාට්‍යය ලියන්නේ මමයි මගේ මිතුරෙකු වූ වසන්ත රෝයි උක්ගල්ලයි. ගමේ අය එකතු වෙලා මේ නාට්‍යය කළා. මෙයින් පසුව මට නාට්‍ය කලාව හදාරන්න ආසාවක් ඇති වෙනවා.
ඒ ආසාව මත එවකට ලංකාවේ නාට්‍ය කලාව උගන්වන හැමතැනකම පැවැති පාඨමාලා මම හදාරනවා. ගුවන්විදුලි, රූපවාහිනී වගේම තරුණ සේවා සභාවෙත් පාඨමාලා හැදෑරුවා. වසර දහයක් පුරාම මම රංග කලාව ගැන ඉගෙන ගත්තා. 1993 දි පමණ ෂෙල්ටන් පයාගල සිනමා නිර්මාණවේදියා මට හමුවෙනවා. ඒ ඔස්සේ මගේ ගමන වෙනසකට ලක්වෙනවා. මම උසස්පෙළ කරලා රැකියා 20ක් පමණ කළා. නමුත් තමුසෙට හරියන්නෙ රංගනය, කලාව කියන එක කිව්වේ ෂෙල්ටන් පයාගල.
ගෙදරින් රංගනයට යොමු වෙනවාට කැමැති වුණාද?
අපෝ නැහැ. කලාව කරන නිසා ගෙදරින් කන්න දුන්නෙත් නැහැ. වීදි නාට්‍යවලට තමයි මම මුලින්ම යොමු වුණේ. නමුත් ඒවායේ නිරත වුණේ සල්ලි බලාපොරොත්තු වෙන් නෙමෙයි. වීදි නාට්‍යයෙන් කළේ ජනතාව දැනුම්වත් කරපු එක. අනික අනුරාධපුරේ වගේ හුඟක් දුර පළාත්වලට ගිහින් දවස් ගණන් ගත කරලා වීදි නාට්‍ය පෙන්නලා තමයි ගෙදර එන්නේ. අපේ තාත්තල සීයලා කළේ ගොවිතැන්. මහන්සියෙන් තමයි හරි හම්බ කළේ. තාත්තා කැමැති වුණෙත් මමත් ඒ මඟ හෝ වෙනත් රැකියාවක නියැලෙනවාටයි. ඒ දවස්වල මට බණිනේ උඹ කලාව කරලා හිඟන්නෙක් වෙන්නද හදන්නේ කියලයි. තාත්තා මට කඩයක් පවා දාලා දෙන්න උත්තසාහ කළා. ඒත් මගේ අරමුණ වුණේ කලාව.
කලාව නිසාම තාත්තගෙන් අහපු බැණුම් මතක ඇති?‍
ඔව්. අදටත් මතකයේ රැඳෙන මතක් වෙද්දී හිනා යන සිදුවීමක් නම් තිබෙනවා. ඒ දෙය වුණේ මගේ යාළුවන් තිදෙනෙකුට. දවසක් වීදි නාට්‍ය පෙන්වලා ඇවිත් මට හොඳටම උණ ගැනුණා. මම හොඳට නිදි. එදා උදේ පාන්දරම අපේ ගෙදර දොරට තුන්දෙනෙක් තට්ටු කරනවා. තාත්තා ගිහින් දොර ඇරියා. බලන කොට මගේ යාළුවො. පාන්දරම මාව හොයන් ඇවිත්. මදනායකයි බනුර හෙට්ටිආරච්චියි ප්‍රීති දිසානායකයි. මේ අය අපේ තාත්තත් එක්කත් හරි යාළුයි. මට කාමරේට ඇහෙනවා. දැන් මේ තුන්දෙනත් එක්ක තාත්තා කතා කරනවා. ‘අංකල් අපි වීදි නාට්‍යයක් රඟපාලා එන ගමන්.’ කියලා එක්කෙනෙක් කියනවා.’මේ ළමයින්ට වීදි නාට්‍යය රඟපාලා කීයක් ලැබුණද?’ තාත්තා අහනවා. අපි තුන් දෙනාටම රුපියල් පනහ පනහ හම්බ වුණා.’ යාළුවෝ උත්තර දෙනවා. තාත්තා හයියෙන් හිනා වුණා. ‘මම තමුසෙල තුන්දෙනාට රුපියල් සීය සීය දෙන්නම් අර හන්දියෙ ඉන්නව බල්ලො තුන්දෙනෙක්. උන් තුන්දෙනාව නාවල දෙනවකෝ. රස්තියාදු වෙවී වැඩකට නැති වැඩ කරන්නේ නැතුව’ කියලා තාත්ත හිනාවේවී කිවුවා. මටත් කාම‍ෙර් ඉඳගෙන හොඳටම හිනා. යාළුවො හම්බවුණාම තවමත් මේ කතාව මතක් කරමින් හිනාවෙනවා. මොනවා කරන්න ද කලාව ගැන එදා තාත්තලගේ ආකල්පය වුණේ ඒකයි.
අද ඔබ ගැන තාත්තා සතුටු වෙනවා ඇති වගේම ඔබටත් ආ මග ගැන සතුටක් ඇති?
සතුටක් වගේම දුකකුත් හිතේ තිබෙනවා. අපි ලෞකික වශයෙන් දියුණු වුණත් අධ්‍යාත්මික වශයෙනුත් ඒ හා සමානව දියුණු විය යුතුයි. නමුත් ඒ දියුණුව ලබන්න අපි පරක්කු වුණා. ආර්ථීක තත්ත්වය, ජනප්‍රියත්වය කියන දේවල් ඉතාම තාවකාලිකයි. ඒ තුළ ලොකු වටිනාකම් අඩුයි.
ඔබ රංගන කලාවට එක් වන්නේ අවුරුදු 25ත් පැන්නට පස්සේ. ඇයි ඒ ?
ඔව්. කලාවේ වෙනත් අංශවලට දායක වී සිටියත් රංගනයට එක් වෙන්නේ ප්‍රමාද වෙලා. මොකද අපි පාසල් යන කාලේ අද වගේ නෙවෙයි. පාසල්වල රංග කලාව විෂයක් ලෙස තිබු‍ණෙ නැහැ. කලා විෂයකට තියුණේ චිත්‍ර විතරයි.
ඔබේ බිරිය හමු වූ අතීතය මතකද?
ඇය පුෂ්පා සමන්ති. අපි හමුවන්නේ යෝජනාවකට අනූවයි. අපේ මව්පියන් එකිනෙකා හොඳින් අඳුනනවා. ගෙවල් දෙකෙන්ම ගෙන ආ යෝජනාවක ප්‍රතිළුලයක් ලෙස තමයි 2000 වසරේ දී අපේ විවාහය සිදු වූයේ.
දරුවන් දෙදෙනා ගැනත් කතා කරමු.
අපිට පුතෙක් සහ දුවෙක් ඉන්නවා. දුව ඉසුරු සන්ධීපනී දැන් සාමාන්‍යපෙළ පන්තියේ. පුතා ඉසුරු මනූෂ හත ශ්‍රේණියේ ඉගෙනුම ලබනවා.
ඔබ සේම ඔවුන්ද කලාවට දක්ෂ ඇති?‍
ඔව්. දුවටත් පුතාටත් ඒ හැකියාවන් හොඳින් පිහිටලා තිබෙනවා.
ඔබ වෘත්තීමය නළුවෙක් නිසා බිරියගෙන් ලොකු සහයක් ලැබෙනවා ඇති?‍
අපි ගෙවන්නේ සරල දිවියක්. එහි දී ගෙදර දෙරේ වැඩ කටයුතු දරුවන්ගේ කටයුතු සියල්ලම සිදු වන්නේ ඇගේ අතින්. ඒ වගේම ඇය මගේ කලා කටයුතුවලදී ඇඳුම් නිර්මාණය අතින් මට ලොකු සහායක් දෙනවා. ඇගේ වටිනාකම මට මහ මෙරක් වගෙයි.
ඇත්තද මේ කියන්නේ? (මම සරත්ගේ ප්‍රිය බිරිය පුෂ්පාගෙන් ඇසුවෙමි.) සෙනෙහසින් පිරී ගිය ඒ මුවගේ ඇදෙන්නේ නිරහංකාර සිනහවකි. ‘ඇත්ත තමයි.’ ඇය පවසයි.
මොකද හිතෙන්නේ සරත් වැනි සැමියෙක් ලැබීම ගැන?
මම ලබපු ලොකු පිනක් වගේම වාසනාවක් කියලා හිතෙනවා. හැම අතින්ම ඔහු මටත් අපේ දරුවන්ටත් ශක්තියක්.
ඔහුගේ ගතිගුණ මොන වගේද?
හරිම නිහතමානී, නිවුණු කෙනෙක්. ඔහු ගැන ලොකු සතුටක් දැනෙනවා.

උපුටා ගැනීම සිළුමින පුවත් පත ඇසුරෙනි

Leave a Reply

Your email address will not be published. Required fields are marked *