30 වැනි උපන්දිනය සමරමින් ඔබේ ආලින්දයට එන පුංචිතිරේ “ගම්පෙරලිය”

මාර්ටින් වික්‍රමසිංහ ශුරීන් රචනා කළ ගම්පෙරළිය නවකතාව ඇසුරෙන් බර්ට්‍රම් නිහාල් නම් නිර්මාණාත්මක ටෙලි නාට්‍යකරුවා නිෂ්පාදනය කරන ලද ගම්පෙරළිය අද යුගයේ රූපවාහිනී ප්‍රේක්ෂකයන්ට නව අත්දැකීමක් ගෙන එනු නිසැකය. මෙයින් වසර තිහකට පෙර එනම් තාක්ෂණය ඩිජිටල් නොවූ යුගයක බර්ට්‍රම් නිහාල් ඇතුළු කණ්ඩායම ගම්පෙරළිය රූපවාහනී මාධ්‍යයට ගෙන ඒමට කළ කාර්යභාරය සුවිශාලය. තිස් වසරකට පසු තම නිර්මාණාත්මක දිවිය දෙස ආපසු හැරී බලන බර්ට්‍රම් ගම්පෙරළිය නිර්මාණය කිරීම පිළිබඳව හරි අපූරු කතා පවසන්නේය.

“ගම්පෙරළිය ටෙලිනාට්‍යය රූගත කළේ 1987 අවුරුද්දේ. අවුරුදු තිහකට කලින් ලංකාවේ තාක්ෂණය දියුණු නැති කාලේ. ඒ කියන්නේ ඩිජිටල් තාක්ෂණය නැති ඇනලොග් තාක්ෂණය තියෙන කාලේ තමයි ගම්පෙරළිය ටෙලිනාට්‍යය කළේ. හස්ත කාර්මික ක්‍රියාවලියක් ඒකාලේ තිබුණේ.

එකල නිර්මාණකරුවන්ට බොහෝ අභියෝග වලට මුහුණ දෙන්න සිදුවුණා. සීමිත සම්පත් වලින් ප්‍රයෝජන ගන්න වුණේ.‍ කොහොම වුණත් ඒකාලයේ අපට පුළුවන් වුණා හැමදෙයක්ම සැලසුම් සහගතව කරන්න. ඒ වගේම නිර්මාණයක් කිරීමට නිදහස තිබුණා. සැලසුම් කිරීම,තාක්ෂණය හැසිරවීම,පරිපාලන රටාවන් ආදිය පිළිබඳ ශාස්ත්‍රීය ක්‍රමවේද භාවිත කරන්නට අපට පුළුවන්කම ලැබුණා.

තිස්ස අබේසේකරයන් මවපු රූපසරණිය රූප වලට පෙරලද්දි පසුතල දර්ශනය සමඟ රූපය ගොඩනැගීමේදී විශාල අභියෝගයක් තිබුණා. කොහොම වුණත් දියුණු තාක්ෂණයක් නොතිබුණාට ඒ අභියෝග ජය ගැනීමට අපට පුළුවන් වුණා. මෙම නාට්‍යයේ කැමරා ශිල්පියා ලෙස කටයුතු කළේ එම්.ජී. මහින්දපාල. ඔහු විසින් රූපයට දීපූ සත්කාරය බොහෝ අඩු ලුහුඬුකම් මකා ගන්නට හේතුවක් වුණා. සුවිශාල දර්ශන තලය මත රූපයේ ගැඹූර ක්‍රමවත් කර ගැනීම පිළිබඳ ගැටළු තිබුණා.

අනෙක් එක තමයි සිපියා වර්ණය විඩියෝ පටයකට භාවිතා කළ පළමු අවස්ථාව මෙය. කොහොම වුණත් අපට තිබුණ තවත් අභියෝගයක් තමයි පැයක කාල පරාසයකට කළ ටෙලි නාට්‍යය පසුකාලිනව චැනල් වල විකාශ කාලය පැය භාගයට සිමාවෙද්දී යළිත් විනාඩි 50 තිබු නාට්‍ය පැය භාගය දක්වා සංස්කරණය කිරීම. කොහොම වුණත් අද වන විට සිතෙන දෙයක් තමයි එදා අපි මුළු කණ්ඩායම ම වැඩ කළේ එක පවුලක් විදිහට . එකිනෙකා බොහෝම සහයෝගයෙන් කටයුතු කළේ ඒ නිසා සියලු අභියෝග ජය ගැනීමට අපට පුළුවන්කම තිබුණා”.

ගම්පෙරළිය පොත ලියැවී දශක ගණනාවක් ගෙවී ඇත්තේය. නමුදු එදා අප පොතින් දුටු චරිත තවමත් අපේ හදවතේ ජීවත් වන්නේය. තවමත් පොතේ යම් සිද්ධින් පිළිබඳ සිහිවන විට ඒ චරිත අප සිතේ මැවෙන්නේය. පසුකාලිනව ලෙස්ටර් ජේම්ස් පීරිස් ශූරින් විසින් රිදි තිරයට ගෙන ආ ගම්පෙරලියේ චරිතද එසේමය.

ඉන් කාලයකට පසුව බර්ට්‍රම් විසින් පුංචි තිරයට කැන්දාගෙන ආ ගම්පෙරළීයේ චරිත අදද හරි අපූරුබවක් ගෙන එන්නේය. නිර්මාණයෙන් නිර්මාණයට ඒ ඒ යුගය සමඟ තෝරා ගන්නා රංගන ශිල්පීන් ඒ ඒ චරිත පෝෂණය කරන විදිහ එකිනෙකට වෙනස්ය. මේ වෙනස් බව වටහාගෙන ගම්පෙරළිය නිර්මාණයට ශිල්පීන් තෝරා ගැනීම පිළිබඳ බර්ට්‍රම් දරන්නේ මෙවැනි අදහසකි.

“නළු නිළියන් තෝරා ගැනීමේදී මට වඩාත් වැදගත් වුණේ චරිතයයි. හැකි තරම් දුරට චරිතය අවබෝධකර ගැනීමත් එම චරිත අභ්‍යන්තරයේ ගැඹුරත් ,මානව දෘෂ්ඨිය හඳුනා ගැනීමට පුළුවන් කම තිබීම මා තෝරා ගන්නා නළුවකුට තියෙන වගකීම වෙනවා. මම නළු නිළියන් තේරීමේදි අන්න ඒ කරුණට මුල්තැන දුන්නා.

ඔහුගේ පෙනුම සහ රූප ලතාව පමණක් චරිතයක් විකාශනය කිරීමට වැදගත් වන්නේ නැහැ. ඇත්තම කිව්වොත් නිර්මාණයේ ලොකු කුඩා සෑම චරිතයක් පිළිබඳ ඒවායේ මුලික ගුණාංග සොයන්න මම වෙහෙසුණා. එය ගම්පෙරළියට පමණක් නොවෙයි, මගේ කවර නිර්මාණයකදී වුවත් මම අනුගමනය කරන පිළිවෙතක්. හැම චරිතයකටම ආවේනික ලක්ෂණ තිබෙනවා. හැම චරිතයකටම ත්‍රීමාණ ලක්ෂණ තිබෙනවා .

ගැඹුර ,උස, පළල ආදී වශයෙන් මිනිසුන්ට අතිරේක ත්‍රිමාණයක් තියෙනවා. මේ ත්‍රිමාණ ලක්ෂණ පිළිබඳ අවබෝධයකින් තොරව චරිතයක් නිවැරැදි ලෙස ඇගයීමට නොහැකියි.මේ නිසා මම හැම විටම අත්දැකීම් බහුල ,අදාළ චරිතයේ ත්‍රිමාණ ලක්ෂණ විදහා පෑ හැකි නළු නිළියන් තමයි තෝරා ගත්තේ”.

ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවේ ආරම්භයත් සමඟ රූපවාහිනියත් සමඟ එක්වුණ බර්ට්‍රම් නිහාල් වේදිකා නාට්‍ය නිෂ්පාදකයෙක් මෙන්ම රචකයකුද වෙයි. එමෙන්ම ඔහු කවියෙක්ද කෙටිකතා කරුවෙක්ද වෙයි. ගම්පෙරළිය මාලා නාට්‍ය නිර්මාණය කරනු ලබන්නේ තරුණ වියේදීය. අද වන විට ඔහු නිර්මාණ ජීවිතයේ බොහෝ අත්දැකීම් ඇත්තෙකි.

ඔහු තම නිර්මාණාත්මක ජීවිතය සාර්ථක කර ගැනීමට බොහෝ නිර්මාණකරුවන් ඇසුරේ අත්දැකීම් ලැබුවෙකි. වරක් සිග්නීස් අන්තර්ජාතික සම්මානයෙන් පිදුම් ලැබූ බර්ට්‍රම් නිහාල් ප්‍රේක්ෂක මතකයේ රැඳී තිබෙන රූපවාහිනී මාලා නාට්‍ය මෙන්ම වාර්තා වැඩ සටහන් රැසක් නිර්මාණය කර ඇත්තේය.

ඔහු විසින් ආසන්න වශයෙන් කළ ටෙලි නිර්මාණය වන්නේ අමරපුරය මාලා නාට්‍යයයි. නමුදු එම නාට්‍ය විචාරකයන්ගේ පුර්ණ අවධානයකට ලක්නොවූ බව බොහෝ දෙනකුගේ අදහසය. අමරපුරයෙන් පසුව යළිත් ටෙලි නිර්මාණයක් කිරීමට අදහසක් නැත්දැයි විමසූ විට ඔහු දුන්නේ මෙවැනි පිළිතුරකි.

“සයිමන් නවගත්තේගම මහත්මයා ජීවත්ව ඉන්න කාලේ සංසාර ආරණ්‍ය අසබඬ පිටපත ලියලා තියෙනවා. ඒ ටෙලි නිර්මාණය කිරීම තමයි මගෙ හීනය. අමරපුරය නාට්‍ය සාර්ථක කරගැනීමට හැකි වීම මට සතුටක්. මොකද ඒ නාට්‍ය ප්‍රේක්ෂකයන් බොහෝම අගය කළා. ඒ වගේම වසර තිහකට පස්සේ අදත් ගම්පෙරළිය ටෙලි නිර්මාණයට හොඳ ප්‍රතිචාර තිබෙනවා. ඇත්තටම මට එය සතුටක් . ප්‍රේක්ෂක ඇගයීම නිර්මාණ කරුවකුට බොහෝම වටිනවා ”.

බර්ට්‍රම් නිහාල් ඇතුළු ඔහුගේ පරම්පරාවේ නිර්මාණශිල්පීන් අද මේ රුපවාහිනී රැල්ල දෙස බලා සිටිනවා හැරෙන්න නව නිර්මාණ කරන්නේ නැත . අද විවිධ රුපවාහිනී නාළිකා ඔස්සේ අතොරක් නැතිව විදෙස් ටෙලි නාට්‍ය විකාශය කෙරෙයි. විශේෂයෙන්ම හින්දි දෙමළ ටෙලි නාට්‍ය මෙන්ම අද රුපවාහිනී නාළිකා අරක් ගෙන ඇති අගක් මුලක් නැති, නිර්මාණාත්මක, ගුණාත්මක බවක් නැති මෙගා නාට්‍ය හොඳ නාට්‍යයක් රස විදීමේ ප්‍රේක්ෂක අයිතිය උදුරාගෙන ඇත්තේය. මේ සම්බන්ධයෙන් බර්ට්‍රම් පවසන්නේ මෙවැනි අදහසකි.

“රුපවාහිනියේ හා ‍සිනමාවේ තිබෙන ප්‍රධානම ක්‍රියාවලිය තමයි සැලසුම් කරණය. සැලසුම් කරනයෙන්“ තොරව කිසිම දෙයක් කරන්න බැහැ. නිර්මාණයක් සාර්ථක වෙන්න නම් සැලසුම්කරණයක් තිබිය යුතුයි. මා දකින විදිහට වර්තමානයේ ටෙලි නාට්‍ය අසාර්ථක වීමට ප්‍රධානම හේතුව තමයි ක්‍රමවත් සැලසුම් ක්‍රමයක් නොතිබීම.

ටෙලි නාට්‍යක් කිරිමට ප්‍රථම පිට පතක් තිබිය යුතුයි .නමුත් මා දන්නා දෙයක් තමයි අද ඇතැම් පිටපත් රචකයින් දන්නේ නැහැ තමන් ලියන පිටපතේ අවසානය මොකක්ද කියලා මොකද ඔවුන් පිටපත ලියන්නේ එදා එදාට. කොහොම වුණත් අන්තර්ගතය කොතරම් හොඳ වුවත්,ආකෘතිය කොතරම් නව්‍ය වුවත් ඒ සියල්ල නිසි ආකාරයෙන් සැලසුම් නොවුණොත් සමස්ත නිර්මාණයම අයාලේ යනවා.

අද බොහෝ නවකයන් සිනමාව හා රූපවාහිනිය පිළිබඳ නිවැරැදි දැනුම ලබා ගැනීමට උත්සාහ නොකිරීමෙන් ශ්‍රව්‍ය දෘෂ්‍ය නිර්මාණ ක්‍රියාවලියේ වැදගත්ම සාධක ඔවුන් අතින් ගිලිහී ගොස් තිබෙනවා. මෙය නුතන පරම්පරාවේ රූපවාහිනී නිර්මාණකරුවන් හොඳින් අවබෝධකරගතයුතු සත්‍යයක්”. බර්ට්‍රම් නිහාල් නම් ප්‍රවීණ නිර්මාණකරුවා නවකයින්ට දෙන්නේ එවැනි උපදෙසකි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *