අමරණීයත්වය ගැන – බට්‍රන්ඩ් රසල් ෴ 2 කොටස

ආගම පවතින්නේ ඇයි? “යහපත් ජීවිතයක්” යන්නෙහි සැබෑ අරුත කුමක්ද?

බිය ආගමික ලබ්ධියක අත්තිවාරමයි, මිනිස් ජීවිතයේ අනෙක් සියලු දේටත් වඩා. මනුෂ්‍ය ප්‍රාණීන්ගේ බිය, පුද්ගල වශයෙන් සහ සමූහ වශයෙන්, අපේ සමාජ ජීවිතයේ වැඩි කොටස කෙරෙහි බලපවත්වනවා, නමුත් ආගමෙහි නැගීමට මුලපුරා දෙන ලද්දේ ස්වභාවධර්මයට ඇති බියයි. මනස සහ විෂයෙහි ප්‍රතිපක්‍ෂභාවය … අඩු හෝ වැඩි වශයෙන් මායාන්විතයි; නමුත් වඩා වැදගත් තවත් ප්‍රතිපක‍්ෂයක් තිබෙනවා, නාමිකව ගතහොත්, අපගේ අභිලාෂයන් මත වෙනස්වන දෑ සහ එසේ නොවන දෑ අතර. ඒ දෙක අතර ඇති රේඛාව තියුණු වූවක් හෝ නිත්‍ය වූවක් හෝ නොවෙයි – විද්‍යාව දියුණු වෙත්දී, වඩා වැඩි දේවල් ප්‍රමාණයක් මනුෂ්‍යයපාලනය යටතට ගැනෙනවා. එය එසේ වන නමුත් ඉතිරිවන සියලු දෑ අනෙක් පාර්ශ්වයට යනවා. අපගේ ලෝකය පිළිබඳ මහා කාරණා පවතින්නේ මේවා අතරයි, නක්‍ෂත්‍රවේදය සමග ගනුදෙනු කරන විදිහේ කාරණා. අපට යම්තරමකට හෝ ග්‍රහණය කරගෙන අපගේ අභිලාෂයන්ට අවශ්‍ය පරිදි හැඩගස්වාගත හැක්කේ මහ පොළවට සමීප කාරණා පමණයි. මහ පොළොව මත දී වුවත් අප සතු බලය ඉතා සීමා සහිතයි. සියල්ලටම ඉහළින් අපට මරණය වළක්වන්න බැහැ, එසේ වුවත් විටින් විට එය කල් දමා ගත හැකියි.

ආගම යනු මේ ප්‍රතිපක්‍ෂය ජයගැනීමට වන උත්සාහයක්. ලෝකය කරනු ලබන්නේ දෙවියන් වහන්සේ නම්, යාඥා මගින් දෙවියන් වහන්සේව සලිත කරවන්න හැකිනම්, අප සර්වබලධාරීත්වයේ කොටසක් අත්පත් කරගන්නවා… දෙවියන් වහන්සේ පිළිබඳ විශ්වාසය … ස්වභාවධර්මයාගේ ලෝකය වඩාත් මානූෂීයකරණය කිරීමේ මෙහෙවරට කැපවීම, භෞතික බලවේගයන් ඔවුන්ගේ හිතවත් ඒවා වන බව මනුෂ්‍යයාට දැනවීම. එයට සමාන හැටියකට අමරණීයත්වය මරණයෙන් බියජනක බව ඉවත් කරවනවා. තමන් මියගිය පසු සදාතනික දිව්‍යමය සැපතකට උරුමකම් කියන බව විශ්වාස කරන මිනිස්සු, මරණය දකින්න බලාපොරොත්තු වෙනවා භීතියකින් තොරව, කෙසේවෙතත් වෛද්‍ය ප්‍රජාව නිසා වාසනාවකට එය අනිවාර්යයෙන්ම සිදුවන්ක් වන්නේ නැහැ. කෙසේ වුවත්, මනුෂ්‍යයාගේ භය මුලුමනින්ම සංසිඳවාලන්න නොහැකි වුවත් යම් තරමකට මැඩ පැවැත්වීම එය විසින් සිදු කරනු ලබනවා.

ආගම, එය සතුව භීතියේ මූලයන් තිබෙනතාක්, නිශ්චිත වර්ගවල බිය උත්කර්ෂයට පත්කරවනවා, මිනිසුන්ව පොළඹවනවා තමන් ගර්හිත තත්ත්වයක් නොවන බවට සිතන්න. මෙහිදී ඒ කාරණය මනුෂ්‍යවර්ගයාට බලවත් අනර්ථයක් සිදුකරවනවා: සියලු බිය නරකයි.

විද්‍යාවේ ඇරුණු ජනෙල් කවුලු පවා මුලින් අප ඇතුලත සිට ලද සාම්ප්‍රදායික මානුෂීයකරණය වූ මිත්‍යාවන්ගේ සැපදායක උණුසුම අතරට ශීතල වෙව්ලීමක් රැගෙන ආවත්, අවසානයේ නැවුම් වාතය ප්‍රාණවත් භාවය රැගෙන එනවා, සුවිසල් අවකාශ සතුව ඒවාටම ආවේණික ප්‍රභාවක් තිබෙනවා.

සර්වශුභවාදයත් සර්වඅශුභවාදයත් යන දෙකම, ලෝක විෂය පිළිබඳ දාර්ශනික විශ්ලේෂණයක් හැටියට ගත් කළ පෙන්වන්නේ එකම බොළඳ මනුෂ්‍යත්වයමයි; මහා ලෝකය, අප දන්නා ස්වභාවධර්මයේ දර්ශනවාදයට අනුව, හොඳ හෝ නරක හෝ එකක් නොවෙයි, අපව සතුටින් තැබීමක් ගැන හෝ අසතුටින් තැබීමක් ගැන හෝ එය තැකීමක් කරන්නේ නැහැ. එවැනි දාර්ශනික විශ්ලේෂණයන් සියල්ලක්ම පැන නගින්නේ ස්වයං වැදගත් භාවයක් රැගෙන සහ නක්‍ෂත්‍රවේදය මගින් මඳ වශයෙන් සකස්කරන ලදුවයි.

සොබාදහම යනු අපට පරිකල්පනය කළ හැකි දෑ වලින් එක් කොටසක් පමණයි; සැබෑ හෝ පරිකල්පිත හෝ සියල්ල අප විසින් තක්සේරුවකට ලක්කෙරෙනවා, ඒ අතරම කිසිදු බාහිර නියතයක් නැහැ අපේ තක්සේරුව වැරදි බව දක්වන්න. බිඳහෙළිය නොහැකි තක්සේරුව තීන්දු කරන පරම විනිශ්චය කරුවන් වන්නේද අපිමයි, සොබාදහම එහි එක් කොටසක් පමණක් වන තක්සේරු ලෝකයක. මේ ආකරයට අප මේ ලෝකය තුළ සොබාදහමට වඩා විශාල වනවා. තක්සේරු ලෝකයක, සොබාදහම උදාසීනයි, හොඳ වන්නේත් නැහැ නරක වන්නේත් නැහැ, අගය කිරීමට ලක්කීරීමට හෝ දෝෂාරෝපණයට ලක්කිරීමට හෝ සුදුසු වන්නේද නැහැ. තක්සේරුව නිර්මාණය කරෙන්නේත් එහි නිර්ණයන් කරන්නේත් අපමයි… යහපත් ජීවිතය නිශ්චය කිරීම ඇත්තේ අප සතුවයි, සොබාදහම සතුව නොවෙයි – සොබාදහමේ පුද්ගලායිත කිරීමක් වන දෙවියන් වහන්සේ සතුව වත් නොවෙයි.

යහපත් ජීවිතය ප්‍රේමයෙන් ආභාසය ලබනවා ඥාණයෙන් මගපෙන්වීම ලබනවා.

ඥාණයත් ප්‍රේමයත් යන දෙකම සීමා රහිතව පැතිරවිය හැකියි; ඒ නිසා ජීවිතය කෙතරම් යහපත් ජීවිතයක් වුවත් එයට වඩා යහපත් ජීවිතයක් ගැන සිතිය හැකියි. ප්‍රේමයෙන් තොර ඥාණයටවත්, ඥාණයෙන් තොර ප්‍රේමයටවත් යහපත් ජීවිතයක් නිපදවිය නොහැකියි.

අනුවාදය:

අඛිල රන්සිරි මලලගේ

Leave a Reply

Your email address will not be published. Required fields are marked *