කොළඹ නගරේ නම් හැදුණ හැටි! – 01

කොළඹට තමයි දැන් සියල්ල කේන්ද්‍ර වෙලා තියන්නෙ. රජයේ සියලු ආයතනවල ප්‍රධාන කාර්යාල. ඒ වගේ ම පෞද්ගලික ආයතනවලත්. සංස්කෘතික කතිකාවනුත් ඒ වගේ ම තමයි. නමුත්, සියල්ල කොළඹට කේන්ද්‍රවෙලා ලොකු කාලයක් ගත වෙලා නැහැ. කොළඹ මෑත ඉතිහාසයට මම හිතන්නෙ සේර ම අවුරුදු 400කට අඩු යි.

කොයි හැටි වුණත් කොළඹ ප්‍රදේශවලට නම් හැදුණු හැටි ගැනයි අපි කතා කරන්න හිතුවෙ. මේ මෑතක් වෙන තුරු ම කොළඹ ග්‍රාමීය පෙදෙස්වලට සමානව තිබුණ කියල තමයි තතු දන්න අය කියන්නෙ.

ඒ නැතත්, ඔය හයිලෙවල්/බේස්ලයින්/ගාලු/ නුවර පාරවල් අසබඩ ඇරෙන්න ටිකක් අස්සට ගියා ම, තවමත් හරි ම ග්‍රාමීය ප්‍රදේශ තියනව.. කොළඹට කිලෝමීටර් 20කටත් අඩුවෙන්, ඔය හෝමගම දියගම පැත්තෙ තවමත් අමුඩ ඇඳන් කුඹුරු කොටන ගොවි මහත්තුරු ඉන්නව..

පහුගිය දවසක හමු වුණු කරුණාරත්න අමරසිංහ මහත්තයා එයාගෙ කුඩා කාලෙ විස්තර කළා.. ඒ කියන්නෙ වැඩි ඈතක නෙවෙයි, දැනට අවුරුදු 60කට විතර කළින් කොළඹ ගැන. ඔය කලුබෝවිල හරියේ ඒ කාලෙ තොවිල් පවිල් තිබුණලු නොසෑහෙන්න. ඒ මදිවට ලොකු කැලෑවල් තිබුණ කියලත් ඒ මහත්තය විස්තර කළා. කොයි හැටි වෙතත්, අපරාදෙ කියන්න බැහැ දැනුත් මේ කොන්ක්‍රීට් වනාන්තරේ ගම්වල තියනවට වඩා බලි තොයිල්  නං තියනවා.

කොළඹ කියන නම හැදුණු විදිහ ගැන අදහස් කීපයක් ම තියනවා.

එකක් තමයි කැළණි ගඟේ සිට ආව දිය වැලක් දැන් ඔය පිටකොටුව කියල හඳුන්වන හරියෙන් මුහුදට වැටුණා ඒ නිසා කොළොම් තොට වුණා කියලා , ඒ දියපාර කොළොන් ගඟ කියල හැඳින්වුණා ඒ නිසා කොළඹ කියලා කිව්වා කියන එක, අනෙක් කාරණය. ඒ වගේ ම මේ ප්‍රදේශයේ මුහුදේ යාත්‍රා කරන නැවියන්ට පවා පෙනෙන තරම් විශාල කොලොම් ගසක් තිබුණා ඒ ඇසුරෙන් කොළඹ කියන නම ආවා කියන එක.

ඒ වගේ ම ඉතිහාසඥ එමර්සන් ටෙනන්ට් යන අයගේ මතය නම් කැලණි තොටුපොළ කොළොං තොට වෙලා, කලන්බු වෙලා කොළොම්බෝ වුණා කියන එක.

ඒ ඇසුරෙන් කොළඹ යනුවෙන් හදාගත්තා වන්නටත් පිළිවන්. එසේ වූවා නම් ටිකක් වෙනස් තත්වයක්. මොකද කියනවා නම්, ලාංකේය ප්‍රදේශයකට විදෙස් නමකින් බිඳගත්ත සිංහල නමක් ඒ හරහා නිෂ්පන්න වෙලා තියෙන නිසා.

තව ඉදිරි සටහන් කිහිපයකින් අපි මේ ගැන කතා කරමු.

( මේ සටහන් ටික ලියන්න උදව් කරගන්නෙ කොළඹ පෙරළිය කියන පොත සහ තවත් පුවත්පත් ලිපි ආදිය එකතුවක් – ඒවාට බුද්ධිමය ශ්‍රමය සැපයූ අයටත් ස්තුතියි)

සෙස්ස පස්සට..

තීක්ෂණ කිරිඇල්ල

Leave a Reply

Your email address will not be published. Required fields are marked *