නුඹේ සිහිනය ලොවට දකින්න ඉඩ හරින්න! – ඒ සිහිනය පැහැර ගන්න ඉඩ නොදෙන්න!

මට විශාල අශ්ව ගොවිපලක හිමිකරුවකු වන මිතුරෙකු සිටියි. එක් කලෙක, අවදානම් සහිත ව්‍යාපෘති වල නියැළෙන තරුණ තරුණියන්ට අවශ්‍ය ප්‍රතිපාදන එක්රැස් කිරීමේ ව්‍යාපෘති සඳහා භාවිතා කිරීමට ඔහු ඔහුගේ විසල් නිවස මා වෙත ලබා දී තිබුණි.

දිනක් මගේ මිතුරා ව්‍යාපෘති කණ්ඩායම අමතා, අසා සිටින්නට කැමත්තක් ඇතිවන කතාවක් පැවසුවේ ය.

“ජැක්ට මගේ නිවස මේ කටයුත්තට භාවිතා කරන්නට ඉඩ දෙන්නේ ඇයි දැ යි ඔයාලාට පහදා දෙන්න මට උවමනා යි” ඔහු කීවේ ය.

“මේ කතාව තමන්ගේ තාත්තා ජීවිකාවට අශ්වයෝ පුහුණු කරමින්, ඉස්තාලයක් ඉස්තාලයක් ගානේ, තුරඟ තරඟ පථයක් පථයක් ගානේ, ගොවිපලක් ගොවිපලක් ගානේ, අවුරුද්ද පුරා ඇවිද්ද නිසා ඉස්කෝල ගමන කඩාකප්පල් වුණු තරුණ පුතෙකුගෙන් පටන් ගන්නේ. එක් වරක් ඒ ළමයා ඉස්කෝලේ ඉහළ පංතියක ඉන්දැද්දි, පාසලින් ඉවත් වුණාට පස්සේ කරන්න බලාපොරොත්තු වන දේ ගැන රචනාවක් ලියන්න ලැබුණා.

එදා රැයේ එයා සම්පූර්ණ පිටු හතක රචනාවක් ලිව්වා. ඒ කවදා හෝ විශාල අශ්ව ගොවිපලක හිමිකරුවකු වීමේ තමන්ගේ ඉලක්කය, සිහිනය ගැන. ඒ ලියැවිල්ල පුංචි කරුණක් ගැන පවා සටහන් වුණු සවිස්තරාත්ම රචනාවක්.

කොටින්ම ඒ ළමයා අක්කර 200ක වපසරියක පැතිරුණු විශාල අශ්ව ගොවිපලක සිතියමක් පවා ඇඳ තිබුණා. අවශ්‍ය කරන සියලු ම ගොඩනැගිලි, ඉස්තාල වගේම අශ්ව පථ ආදි සියල්ලම තිබුණු ඒ සිතියම ඉතාම අනර්ඝ තත්ත්වයේ තිබුණු බව මට අද වුණත් කියන්න පුළුවන්. ඒ සිතියමට ඉතාමත් සවිස්තරාත්මක ව ඇඳපු වර්ග අඩි 4000ක නිවසක් ද ඇතුලත් වුණා.

ඔහු මුළු හදවතින් ම සිය සිහිනයට බැඳී සිටියා. පසුදා තමන්ගේ සිහිනය සටහන් වුණු සත් පිටු ව්‍යාපෘතිය ඔහු තමන්ගේ ගුරුවරයාගේ අතපත් කළා. දවස් දෙකකට පස්සේ එය නැවත ඔහුට ලැබුණා.

නිකං නෙමෙයි ඉස්සරහ පිටුවේ ලොකු එෆ් අකුරක් එක්ක. ‘පංතියෙන් පසු මා හමුවන්න’ කියලත් ඒකේ ලියලා තිබුණා.

ඒ සිහිනය හිතින් අරගෙන, කිව්ව විදිහට ම ළමයා ගුරුතුමා හමුවන්න ගියා.

‘ඇයි මට එෆ් අකුරක් ලැබුණේ?’

ගුරුතුමා මේ විදිහට කිව්වා.

‘මේක තමුන් වගේ පොඩි කොල්ලෙක් හිතන්නවත් හිතන්න හොඳ නැති තරමේ වැඩක්නේ. තමුන්ට කොහෙද සල්ලි? තමුන් වගේ තැනින් තැන යන පවුලක කෙනෙකුට කොහෙන්ද සම්පත්? විශාල අශ්ව ගොවිපලක අයිතිකරුවෙක් වෙන්න ඕනෑ කරන මුදල් ප්‍රමාණය තමුන්ට හිතාගන්නවත් බැහැ ළමයෝ. මේ ඇඳලා තියෙන අක්කර දෙසීයේ ඉඩම ඔයා මිල දී ගන්න? හීනෙන්වත් පුළුවන්ද?

මේවා ආවාට ගියාට කරන්න බැහැ. ඉතාමත් හොඳ තත්ත්වයේ සත්තු මිලදී ගන්න ඕනෑ. උන් ව නඩත්තු කරන්න ඕනෑ. මේ වැඩේ තමුන්ට ජීවිතේටවත් කරන්න බැහැ.’ ගුරුතුමා කියවාගෙන ගියා. ‘හ්ම්… තමුන් වඩා යථාර්තවාදී ඉලක්කයක් ඇතුව රචනාව ආයේ ම ලියලා දුන්නොත්, එෆ් අකුරෙන් එහා ගිය අකුරක් ගැන සළකා බලන්න මට පුළුවන්’

“ළමයා ගෙදර ගියා. තදින්, ගැඹුරින් ඒ ගැන හිතුවා. කරන්න ඕනෑ මොකක්දැයි තාත්තාගෙන් ඇහැව්වා.

‘බලන්න පුතේ, ඔයාමයි ඔයාගේ හිත හදාගන්න ඕනේ. කොහොම වුණත් මේ තීරණය ඔයාගේ ජීවතයේ තීරණාත්මක කාරණයක් ‍වනවා’ තාත්තා කිව්වේ එහෙමයි. කොහොම හරි අවසානයේ සතියක් කල්පනා කරපු ළමයා තමන්ගේ පළමු රචනාව ම ගුරුතුමාට දුන්නේ එක අකුරක්වත් වෙනස් නොකරයි.

‘ඔබතුමා ඔබතුමාගේ එෆ් අකුර තියා ගන්න. මං මගේ සිහිනය තියා ගන්නම්’ ළමයා ගුරුතුමාට කිව්වේ එහෙමයි.”

ව්‍යාපෘති කණ්ඩායම දෙස හොඳින් බැලූ ඔහු තවදුරටත් මෙසේ පැවසුවේය.

“මම මේ කාරණය ඔයාලාට කියන්න හිතුවේ දැන් ඔයාලා මේ ඉඳගෙන ඉන්නේ මගේ ඒ අක්කර දෙසීයේ ඉඩම මැද පිහිටපු, වර්ග අඩි හාරදාහේ ඒ ගෙදර බව කියන්නයි. හොඳට බැලුවොත් පෙනෙයි අර උදුනට ඉහළින් රාමු කරලා එල්ලලා තියෙන මගේ ඒ රචනාව.”

ඔහු තවදුරටත් පැවසුවේ ය.

“හොඳ ම සිද්ධිය කියන්නේ ගිම්හාන සෘතු දෙකකට කලින් ඒ ගුරුතුමා ළමයින් 30 දෙනෙකු එක්ක සතියක කඳවුරක් සඳහා මගේ ගොවිපළට ආවා. ඒ ඇවිල්ලා යනකොට එතුමා මෙහෙම කිව්වා.

“බලන්න පුතේ, මට මේ දේ නොකියා ම බැහැ. ඔයාගේ ගුරුවරයා ව උන්නු කාලේ මම මහා නරක, භයානක හොරෙක්, සිහින හොරෙක්.

ඒ කාලේ මං ගොඩක් දරුවන්ගේ සිහින හොරා ගත්තා.

දෙවියන්ට ස්තුතිවේවා!

ඔයාගේ සිහිනය හොරා ගන්න මට ඉඩ නොතියන්න තරම් ඔයා නුවණක්කාර වුණා”

(අන්තර්ජාලය ඇසුරෙනි)

රන්දිකා රණවීර ප්‍රනාන්දු

Leave a Reply

Your email address will not be published. Required fields are marked *