රුවක් ඇදෙනවා – මධුවිතින් සිත ඇඳි වේදනාවක අසිරිය

රුවක් ඇදෙනවා කවුදෝ එනවා
මීවිත ඇඳිරිය දෑස වසනවා
හද පොදි බැඳි දුක දිය කර පා කර
ඔබේ ලොවට මා මොහොතින් එනවා

සොඳුරු යොවුන් විය මල් මග මුල හිඳ
කිම තොල මීවිත පුරවන්නේ
නුරා විරා ගිිනි නිවා දමන්නයි
සුරා විතින් මා දෙතොල තෙමන්නේ
නැගුනු නුරා ගිනි මී පොද වැටිලා

හතර අතින් දළුලා එනවා
අවන්හලේ මී විත තනිකරලා
වරෙන් මලේ පියවර නගලා

ගායනය – විශාරද ගුණදාස කපුගේ සහ කරුණාරත්න දිවුල්ගනේ
පද රචනය – මහින්ද දිසානායක
සංගීතය – විශාරද ගුණදාස කපුගේ

පේ‍්‍රමයේ ඉමිහිරි වේදනාවන්ට මධුවිත කෙතරම් අපූරු උත්තේජකයක්දැයි මා හරියටම පසක් කර ගත්තේ පාසැල් කාලයේදී පාසැල් මිතුරන් සමඟම සහභාගී වූ මංගල උත්සවයක් නිසාය. පළමු වතාවට අත දිග හැර බොන්නට ලැබුණු ඒ අවස්ථාව නොවේ නම් තව යම් කලක් යන තුරු හෝ මධුවිත සම්බන්ධව මගේ ආකල්ප කෙබඳු වනු ඇත්ද? එකල මා සිතා සිටියේ මත්පැන් යනු අප විසින් දියත් කරනු ලබන සමාජවාදී විප්ලවයෙන් පසු මුළු රටෙන් ම තුරන් කර දැමිය යුතුවූ ධනේශ්වර උවදුරක් ලෙසය. කරුණාසේන ජයලත් එකල මගේ පරම සතුරකුව සිටියේ දම්මි නිසා මධුවිතට ඇබ්බැහි වන සුගත් කෙනෙකු නිර්මාණය කිරීමට ඒ භ‍්‍රෂ්ටයා කටයුතු කර තිබීම නිසා ය. සුගත් තුළින් මා බලාපොරොත්තු වූයේ විරහ වේදනා තුට්ටුවකට නොතකා පරාක‍්‍රම කොඩිතුවක්කුගේ “නොවැලපෙමි ඔබ යන්න” වැනි කවියක් හඬගා කියන සමාජ සත්තා යථාර්ථවාදී වීරයෙකි.නොමිලේ හරි හැටි බොන්නට අවස්ථාවක් ලැබෙන තුරු ඒ සියලූ සිද්ධාන්ත මගේ මනසේ නිරුපද්‍රිත ව පැවතියේ ය.

මේ ගීතය ලියැවී ඇත්තේ ද විරහව නිසා මධුවිතෙහි ගැලුනු යෞවනයෙකු ගැන ය. එතැනින් නොනැවතී නිස්සාර මීවිත අතැර යන ලෙස ඔහුට ඔවා දෙන උපදේශාත්මක හඬක් ද ගීතයේ ඇතුළත් ය. පළමු තීරණාත්මක මධු සාදයෙන් පසු පාසැල් කාලයේ සිටම මේ ගීතය මට රස මසවුලක් වුව ද එදා සිටම මගේ සිත කීරි ගස්වන ලද්දේ නුරා විරා ගිනි නිසා සුරාවේ ගැලුනු යෞවනයාගේ පරාජිත අරාජික ස්වරය මිස මේ උපදේශ කතන්දරය නොවේ. පේ‍්‍රමයේදී විටෙක ජයග‍්‍රහණයටත් වඩා පරාජය ඉමිහිරි ය. කාව්‍යාත්මක ය. තර්ක බුද්ධියේ උපදේශ ඊට අගෝචර ය. අපි ඒ නිසා ම ඒ ඉමිහිරි ශෝක සංවේදනා ගංගාවේ කිමිදෙමින් සිටීමට ආසා කරමු. එතැනට මධුවිත ද එක්වූ විට මැවෙන්නේ අපූරු අසිරියකි. එහි ගැලී විනාස නොවන්නෙකුට ඒ අසිරිය අපූරු ආත්මීය ඔසුවක් යැයි මට සිතේ.

විරහව හා මධුවිත නිසා ජීවිතය ම නැති නාස්ති කරගත් ආදරවන්තයෝ ද සිටින බව කියති. එක්ටැම්ගේ චිත‍්‍රපටයේ රවීන්ද්‍ර රන්දෙනිය පණ දුන්නේ එවැනි චරිතයකට ය. එවැනි විකාර ආදරවන්තයෝ කයි කතන්දරවල මිස සැබෑ ජීවිතය තුළ බෙහෙවින් විරල වුව ද සැබෑ ලෝකයේ ද එවැනි මිනිසුන් කීප දෙනෙක් ගැන මා අසා තිබේ. මීට කලකට පෙර සඳරේණු පුවත්පතට “නිම්තෙරින් එහා” නැමති නවකතාවක් ලියූ චානුක උයන්ගොඩ මෙහිදී මගේ මතකයට එයි. එය චානුකගේ සත්‍ය කතාව බවත් ඔහු විරහව නිසා මධුවිතට ජීවිතය කැප කළ අයෙකු බවත් කියැවේ. එය මල් පත්තර කාරයන්ගේ බාල වෙළෙඳ ගැටයක් නොවේ නම් අද ඒ චානුක කොහේ සිටින්නේ දැ යි දැන ගැනීමට මා කැමති ය.

රුවක් ඇදෙනවා ගීතය සමලිංගික සම්බන්ධයක් ගැන කියැවෙන්නක් බවට ද මතයක් තිබේ. සමලිංගිකත්වය ගැන ද ගීත ලිවීම වරදක් නොවුණ ද මේ ගීතය තුළ මට නම් කිසි විටෙක එවැනි අර්ථයක් හමු නොවේ. මේ ගීතයේ රචකයා ද ඒ සාහසික අර්ථ දැක්වීම ප‍්‍රතික්ෂේප කර තිබිණි. කතුවර අධ්‍යාශයෙන් ඔබ්බට යමින් නිර්මාණවලට අර්ථ පැනවීමට අපට නිදහස ඇතත් එය වල්බූරු නිදහසක් නොවේ. නිර්මාණයට අදාල අභ්‍යන්තර හා බාහිර සාධක රාශියක් විසින් අපේ අර්ථ පැනවීමේ නිදහස සීමා කරයි. මේ කිසිවක් වටහා ගැනීමට නිරවුල් චින්තනයක් නැත්තෝ මෙය “මගේ කියවීම” ආදී වචන ඔහේ දොඩවනුයේ බාත්ගේ, ඩෙරීඩාගේ කෑලිද සම්මාදමට ගනිමිනි. උපුටාගත් දාර්ශනික කෑලිවලට වඩා නිරවුල් රස වින්දන ශක්තිය නිර්මාණකරණයේ දී හා විචාරයේ දී වැදගත් බව මෙහිදී කිව යුතු ය. අව්‍යාජ දාර්ශනික අදහස් උපදින්නේද එවැනි මනස් තුළ බව සාමාන්‍ය මිනිසුන්ගේ හැසිරීම් ඔස්සේ පවා අපට අවබෝධ කරගත හැක්කකි.

ඉසුරු ප‍්‍රසංග

 

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *