මහාවංශය සරල සිංහලෙන් – 03 ෴ බුදුන්වහන්සේ කැලණියට වැඩම කළ හැටි

01 වැනි පරිච්ඡේදය – 03 වැනි කොටස

නාගදීප ආගමනයෙන් තුන් අවුරුද්දකට පස්සෙ මණිඅක්ඛික නා රජතුමා බුදුන්වහන්සේ ඇතුලු මහ සඟ පිරිවරට එහි වඩින ලෙස ආරාධනා කළා. ඒ බුදුන්වහන්සේගේ බුද්ධත්වයෙන් අටවැනි වර්ෂයයි. උන්වහන්සේ වැඩසිටියේ ජේතවන විහාරයේයි. මණිඅක්ඛික නා රජුගේ ආරාධනය පිළිගත් බුදුන්වහන්සේ ඉන් දෙවැනි දවසේ දන්වේලාවේ, පන්සියයක් භික්‍ෂූන් වහන්සේලා පිරිවරා පාත්‍රය සියතින් ගෙන කැලණියේ පිහිටි මණිඅක්ඛික නා රජ ගේ නිවසට වැඩම කළා. දැන් කැලණි විහාරය පිහිටා ඇති තැන මැණික් වලින් කළ මණ්ඩපයක උන්වහන්සේ ප්‍රමුඛ භික්‍ෂූ පිරිස වැඩ සිටියා. මණිඅක්ඛික නා රජ්ජුරුවෝ සිය පිරිවර සමඟ, බුදුන් ප්‍රමුඛ මහා සංඝරත්නයට ඉතා සතුටු සිතින් දන් පිළිගැන්වූවා. දිව්‍යමය ආහාරා-පාන වලින් දානය සශ්‍රීක කර තිබුණා. දන් වළඳා නිමවීමෙන් පසු බුදුන් වහන්සේ අහසට වැඩම කළා. සමස්ත ලෝකසත්ත්වයා කෙරෙහි අනුකම්පාවෙන් සමන්තකූඨ පර්වතය මුදුනේ තමන්වහන්සේගේ සිරිපතුල පිහිටවූවා. ඒ පර්වතය පාමුල සංඝයා වහන්සේලා පිරිවරා දිවා කල විවේක සුවයෙන් කල්ගත කළ උන්වහන්සේ ඉන් අනතුරුව දිගාවැව ප්‍රදේශයට වැඩම කළා. දීඝවාපී චෛත්‍යය පිහිටා ඇති තැන ටික වේලාවක් සමාධි සුවයෙන් වැඩ හුන්නා. ඉන් අනතුරුව බුදුන් වහන්සේ අනාගතයේ වන්දනා මානයට පාත්‍රවන ස්ථාන රැසක් පෙන්වා දෙමින් ඒ ඒ ස්ථාන වලට පිරිවර සංඝයා සමග වැඩම කළා. උන්වහන්සේ මහමෙවුනා උයන පිහිටන තැනට වැඩියා. ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ පිහිටන තැන සමාධි සුවයෙන් ගතකළා. ථූපාරාම දාගැබ පිහිටන තැනත් එසේම ගතකළා. අනතුරුව උන්වහන්සේ මිහින්තලාවේ ශෛල චෛත්‍යය පිහිටන ස්ථානයට වැඩම කළා. එතැනට එක් රැස් වූ දෙවි දේවතාවුන්ට ධර්මය දේශනා කළා. අනතුරුව උන්වහන්සේ ආපසු ජේතවනාරාමය බලා වැඩම කළා.

ලංකාවාසීන් ගේ අනාගත සුබසිද්ධිය සලකා අප මහා බුදුන්වහන්සේ, එකළ විසූ දේව නාග ආදී ජනයා හට ද සෙතක් ම සලසාදෙමින්, මේ උතුම් කුඩා දිවයිනට තුන් වරක් වැඩමකර සිටියේ ඔන්න ඔහොමයි. මේ දේශය සද්ධර්මය නැමති පහනින් ඒකාලෝක වෙමින් සද්ගුණවත් ජනයාගේ ගරු බුහුමනට පාත්‍රවන තැනක් වන්නේ ඒ නිසයි.

කල්‍යාණ ආගමන කථාව අවසානයි෴

බොහෝ ජනී ජනයාගේ පහන්සංවේගය පිණිස රචිත තථාගතයන් වහන්සේගේ ලංකාගමනයන් පිළිබඳ වූ මහා වංශ පළමුවැනි අදියර මෙතෙකින් නිමාවෙයි.  

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *