මිහිඳු හිමියන් සීමාව වෙන්කළ මහා විහාරයේ අලුත් කැණීම්

රුවන්මැලිසෑය ඉදිරිපිට සිදු කරන ලද කැණිමකදි හමු වූ ගොඩනැගිලි අවශේෂ තුනක් පිළබඳ පසු ගියදා පුරාවිදයා ක්ෂෙත්‍රයේ අවධානය යොමු විය. මධ්‍යම සංස්කෘතික අරමුදලේ අධ්‍යක්ෂ මහාචාර්ය ප්‍රිශාන්ත ගුණවර්ධන පවසන්නේ ඒ හමු වූ ගොඩනැගිලි මගින් ඉතිහාසයේ සුවිශේශී කඩක් විවර වන බැවින් එම පර්යේෂණ කැණිම මගින් සොයාගත් ඉපැරණි ඉදිකිරීම් මහා විහාර භූමියෙන් මෙතෙක් හමු වූ පුරාවස්තු හා සසඳද්දි සුවිශේෂී අගයකින් යුතු බවය. එහෙත් පුරාවිද්‍යා ක්ෂේත්‍රයේ විද්වතුන්ගේ අදහස වන්නේ මෙතෙක් මහාවිහාර ව්‍යාපෘතියෙන් හමු වී ඇති පුරාවස්තූන් හා සසඳද්දි මේ හමු වූ පුරාවස්තුන්හි කිසිදු විශේෂත්වයක් නොමැති බවයි. එහෙත් හමු වීඇති ගොඩනැගිලි සංකීර්ණයේ කාලනිර්ණය සඳහා කටයුතු සිදු කෙරෙන බව මහාචාර්ය ගුණවර්ධන පවසයි.

ලෝකයේ ඉපැරණි ශිෂ්ටාචාර අතර ලංකාවට හිමි වන්නේ ප්‍රමුඛ ස්ථානයකි. ඒ අතරින් අනුරාධපුරය කෙරෙහි විශේෂ අවධානය යොමු වේ. අනුරාධපුරය ජනාවාස වීම ක්‍රි. පූර්වයෙන් 1000දී පමණ සිදුවී ඇතැයි ද ප්‍රාථමික යකඩ යුගයේ ආරම්භ වූ අනුරාධපුරයේ ජනාවාස ජන ප්‍රසාරණය හේතුවෙන් මහාජනපද බවට පත්ව ඇතැයි ද ආචාර්ය දැරණියගල 1992 වාර්තා කොට තිබේ.

ශ්‍රී ලංකාවට මිහිඳු හිමියන්ගේ ආගමනය හා රට තුළ ථේරවාදී බුදු දහම ස්ථාපිත විය. බෞද්ධ දර්ශනය ස්ථාපිත කිරීම උදේසා අවශ්‍ය බොහෝ කටයුතු මිහිඳු හිමියන් ප්‍රමුඛ වූ ධර්ම දූත කණ්ඩායම මගින් සිදු කරන ලදි. රාජකීය උද්‍යානය වූ මහ මෙව්නාව බෞද්ධ කේනද්‍රස්ථානය කොට ගෙන විහාර භූමි සංඝාවාස ස්ථාපිත කොට එතැන් සිට ලංකාද්වීපය පුරා ථෙරවාදි බුදු දහම ප්‍රචලිත කරවීය. ඒ අනුව බලන කල අතීත ලංකාවේ ථෙරවාදී බෞද්ධ දර්ශනය ප්‍රචලිත කිරීමේ කේන්ද්‍රස්ථානය වූයේ මහා විහාරයයි. මහින්දාගමනයට පෙරද ලංකාද්වීපයේ බෞද්ධ දර්ශනය ස්ථාපිතව තිබූ බව කණ්තරෝඩෛ, කැලණිය, හා අකුරුගොඩ පුරාවිද්‍යා පර්යේෂණ කැණීම් මගින් තහවුරු වී තිබේ. එහේත් රාජ්‍ය අනුග්‍රහය යටතේ රට පුරා බෞද්ධ දර්ශනය ස්ථාපිත කිරීමට මිහිඳු මහ රහතන් වහන්සේට හැකියාව ලැබිණි.

ඒ අනුව අතීත ලංකාව හා ඉන්දියාව අතර දේශපාලන සබඳතා තහවුරු විම කෙරෙහි ථෙරවාදී බුදු දහම ඉවහල් විය. රාජකීය උද්‍යානය වූ මහා මෙව්නාවේ මහාවිහාරය ඉදිකිරීමේ කටයුතු ඉන්දියාවෙන් පැමිණි දූතපිරිස අතින් සිදුවිය යන්න ඉතිහාස කතාවේ සඳහන්ය. සංඝාවාස හා ථූපාරාම, අභයගිරිය, ජේතවනය ආදී ස්තූප ඉදිවෙද්දී අනාගතයේ බිහිවන දුටුගැමුණු රජු අතින් ඉදිවන මහාථූපය හෙවත් රුවන්මැලි සෑ රදුන් සඳහාද භූමිය වෙන්කර තබන ලද්දේ මිහිඳු හිමියන් විසින් බව ඉතිහාස කතාව කියයි. ඒ සමඟම සිදු වූ විහාර ආරාම ඉදිකිරීම ඇතුළුව තවත් කේෂත්‍ර ගණ‍නාවක ම ඇති වූ දියුණුව පිළිබඳ මහාවංශයේ සඳහන්ය. ඒ සංවර්ධන ක්‍රියවලිය සිදු වූයේ එවක පැවැති ආගමික ආර්ථික හා දේශපාලන පසුබිම මතය. මහා විහාර ව්‍යාපෘතිය 2007 දක්වා ක්‍රමවත්ව ක්‍රියාත්මක විය. ඉන්පසු අඩපණ වූ ව්‍යාපෘතියේ වැඩ කටයුතු අභයගිරි ව්‍යාපෘතිය යටතේ ක්‍රියාත්මක විය. නැවත 2015වසරේ දි ආරම්භ ආරම්භ වු මහාවිහාර ව්‍යාපෘතිය මගින් මහාවිහාර භූමියට අයත් රුවන්මැලි සෑය, ථූපාරාමය, අංක 17 පොකුණ හා ශ්‍රී මහා බොධියේ සංරක්ෂණ සංවර්ධන කටයුතු කෙරෙමින් පවති. මේ වනවිට ශ්‍රී මහාබොධියේ දකුණු හා නැගෙනහිර ප්‍රාකාර බැම්ම සංරක්ෂණය කොට අවසන්ය. මේ වන විට උතුරු ප්‍රාකාර බැම්ම සංරක්ෂණය කෙරෙමින් පවතී.

ථූපාරාමයට අයත් දාන ශාලාවක් ලෙස සැලැකෙන ගොඩනැගිල්ලක් මේ වනවිට කැණීම් කරමින් තිබේ. මහා විහාරයේ ධර්ම පීඨය අසල ඇති භික්ෂූන්ගේ පැන් පහසුව සඳහා භාවිත කළේයැයි සැලැකෙන අංක 17 පොකුණ මේ වන විට කැණිම් කර ඇති අතර සංරක්ෂණයට කටයුතු කරමින් සිටී. රුවන් මැලි සෑයේ වැලිමළුව සංරක්ෂණය කොට දානපතියන්ගේ ආධාරයෙන් හා බැතිමතුන්ගේ ශ්‍රමදායකත්වයෙන් වැලිපුරවා වන්දනාමානය සඳහා පහසුකම් සලසා ඇත. ඒ සඳහා වැලි කියුබ් 500කට වැඩි ප්‍රමාණයක් භාවිත කර ඇත. වැලිමලුවේ ඇති පහන් ගෙය ඉවත් කොට වැලි මළුව බැතිමතුන්ගේ වන්දනාමානයට වෙන්කර දී රුවන්මැලිසෑය අවට අතීතයේ පැවැති සංස්කෘතික භූදර්ශනය නැවත නිර්මාණය කිරිමට හා ශ්‍රීමහා බොධි මළුවේ සිට නැගෙනහිර දොරටුව තෙක් පැමිණීමේ දී හමුවන අවිධිමත් ඉදිකිරීම් ඉවත් කීරීමට මධ්‍යම සංස්කෘතික අරමුදල කටයුතු කරමින් සිටින බව මහාචාර්ය ප්‍රිශාන්ත ගුණවර්ධන පවසයි.

මේ අරමුණ ඇතිව මහාථූපයේ නැගෙනහිර දොරටුවට වම්පසින් කළ කැණීමේ දී ගොඩනැගිලි තුනක නෂ්ටාවශේෂ හමු වී ඇත. ඒ අතරින් අනුරාධපුරයේ මුල් යුගයට අයත් යැයි සැලැකෙන සඳකඩපහණක් මුරගල් හා කොරවක්ගල් සහිත ගොඩනැගිල්ල විශේෂ වේ. එහි ඉදිරිපිට ඇති බහිරව රූප මගින් එම ගොඩනැගිල්ල අතීතයේ පිළිම ගෙයක් සේ පැවැතියේයැයි උපකල්පනය කිරීමට බොහෝ ඉඩ ඇත. ඒ ස්ථානයේ තිබී පැරණි බැම්මක කපරාරු කොටසක් හමු විඇති අතර පැරැණි ඉදිකිරීම් තාක්ෂණය පිළිබඳ විමර්ශනය කට ඉන් මඟ පෑදී ඇත.

එහෙත් මහාචාර්ය ප්‍රිශාන්ත ගුණවර්ධන මහාථුපය ඉදිවීමත් සමඟ භික්ෂූ භික්ෂූනීන්ට අවශ්‍ය ආකාරයේ නෙවාසික ගොඩනැගිලි හා අංගසම්පූර්ණ විහාරාරාම සංකීර්ණයකට අයත් ඉදිකිරීම් අනුරාධපුර යුගයේ අවසාන භාගයේ, එනම් ක්‍රි. වර්ෂයෙන් 4-5 සියවස් හි මේ ස්ථානයේ ඉදිකරවන්නට ඇතැයි ප්‍රකාශ කරයි. කෙසේ වුවද කාලනිර්ණ දත්ත ලැබෙන තුරු ඒ පිළිබඳ තහවුරු කිරීමට හැකියාවක් නැත. එම ස්ථානයේ තිබී කැසිකිළි ගල් සහ තවත් ගොඩනැගිලි තුනක නටබුන් හමු වී තිබේ.

කෙසේ වුවද ඈත අතීතයේ උද්‍යාන නගරයක් වු මේ බිමෙහි වූ ඉදිකිරීම් දෙවන පෑතිස් රාජ සමයේ සිට හෝ ඊට එපිට සිට පැවැත එන රාජ සමයන් කිහිපයකට අයත් ඒවා බැවින් එක් එක් රාජ සමයන්හි වාස්තු විද්‍යාත්මක ක්‍රමවේදයන් පිළිබඳ නිශ්චිතව හඳුනා ගන්නා තුරු මේ ඉදිකිරිම් මොනවාද යන්න තවුරු කර නැති බව මහාචාර්ය ගුනවර්ධන පවසයි.

මේ පුරාවස්තු හා විහාර භූමිය රටේ සම්පතය, බෞද්ධ සම්ප්‍රදායේ කේන්ද්‍ර ස්ථානයය. එබැවින් එම ස්ථානය ආගමික සිද්ධස්ථානයක් ලෙස ගවේෂණය, සංරක්ෂණය කොට ආරක්ෂා කර ගත යුතුවේ. එසේ නොකොට සංචාරක ආකර්ෂණ කලාපයක් බවට පත්කිරීම බෞද්ධයන්ගේ මෙන්ම තම විශ්වාසයන් මත පිහිටා මේ ස්ථාන වන්දනා මාන කිරීමට පැමිණෙන්නන් හට කරනු අකටයුත්තකි. තමන්ගේ උරුමයක් ලෙස අනුරාධපුර පූජා නගරය රකින මධ්‍යම සංස්කෘතික අරමුදල අතින් කිසිවිට එවන් වැරැද්දක් සිදු නොවෙනු ඇත.

වැලිමළුවේ අගය දන්නේ වැලිමළුවක පැදකුණු කොට බොධිය, චෛත්‍ය වන්දනා මාන කරන්නන් පමණි. ඉන් පයට දැනෙන ස්පර්ශය සිත සනසන්නේ කෙ‍ෙස්ද යන්න හඳුනාගන්නට වැලිමළුවේ නිදහසේ පැදකුණු කොට බලන්න. තබන සෑම පියවරක්ම සිත සුවපත් කරන ඖෂධයකි. ඒ සැනසිල්ල සියවස් ගණනක් අනාගතයේ මේ ස්ථාන වන්දනාමාන කරන්නන්ටද එලෙසින්ම උරුම කර දීම වත්මන් පරපුරේ වගකීමයි.

-ටෙක්ලා පද්මිණී කාරියවසම්-
සිළුමිණ

Leave a Reply

Your email address will not be published. Required fields are marked *