පුතාට දහ අටයි..!

හැම නඩු වාරෙකදි ම වගේ ම
අදත් තරහෙන් ඔයා
මමනෙ දන්නෙ
ඉක්මනින් නිවෙන ඔය තරහ ගැන

උසාවියෙ සෙනඟ අස්සෙන්
බංකුවක දුර පේන කොට
මතක් වෙනවා
එකම පන්තියෙ උන්න කාලය

අත්කොට කමිසය
තාමත් හැඩයි ඔයාට
කියාගන්න තිබ්බනං
යන්න කලින් ඒ ගැන

ඒ කාලේ අපි
එක ම හුස්මක් තුළ
වැඩි ම වාර ගණනක්
ආදරේ කියාගත්ත තරඟෙට
ඔයයි දිනුවෙ හැමදාම

බැඳපු අලුත ඔයාලයෙ ගෙදරදි
මතක ද අම්මලට හොරෙන්
බත් අහුරු දාපු විදිහ
මගේ පිඟානට

මසකට වරක් මූණ දැකගත්
මගේ පෙම් කතාවේ
අන්තිම දවස අද

ඉතින් අදින් පසු
නඩත්තු වන්නේ කෙලෙස ද මා හද
ඉඳ -හිට වත්
දකින්න නොලැබෙන කල ඔබ

 

කවි පොත – ඇහි පියන් ඇහැරිලා

කවියා – මහින්ද ප්‍රසාද් මස් ඉඹුල

ඔයා ඉවත බලාගෙන.. තරහ පාට ගෑ වුණාට ඔය මූණෙ..හිත ඇතුලෙ කඳුළු වැල් පේළියක් දඟලනව ඇති නේද..? අමතක වෙන්නෙ නෑ සෙනේ ආදරෙන් අපි වැළඳ ගත් ජීවිතය.. යස ඉසුරු නැති නමුදු..හිත සතුට දළු ලාපු නඩුවකින් වල දාපු..ඒ සොඳුරු ජීවිතය..!

පුතුට දහ අට වූවාට පසු..නඩත්තුව නැහැ තමයි ඒත් මසකට වරක්..ඔබව දුටු එක මදිද ජීවිතේ ගැට ගසා ගෙන යන්න..!

කමක් නෑ.. මට දැනෙන විදියට අද තමයි ආදරය අපෙ වැළලෙනා දවස ඒ..!

සටහන – විජායී නාලිකා කරුණාතිලක

 

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *