සරත් අප්පෝ බුදු වේවා!

“සරත් අප්පෝ බුදු වේවා!” යනුවෙන් වැකියක්, අතින් රෙදි කැබැල්ලක ලියා රත්නපුර – කොළඹ මාර්ගයේ රත්නපුරයට නුදුරු පණුකැරෑපිටිය නම් ග‍්‍රාමයේ එක්තරා ස්ථානයක එල්ලා තිබිණි. ඒ 1986 වසරේ දී ය. ජේ. ආර් ගේ විවෘත ආර්ථික බූවල්ලා අඩු පඬු දිගහරින්නට පටන්ගත් කාලයේ ම වාගේ ය. ගැමියන් බුදුබව පතන්නේ බෝසත් ගුණ ඇතියවුන්ට ය. මෙකියන කාලය බෝසත් ගුණ ඇතියවුන් වඳ වෙන්නට පටන් ගත් කාලය යි.

සරත් අප්පෝ යනු රත්නපුර දිස්ත‍්‍රික් පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරයෙක්ව සිට රිය අනතුරකින් මිය ගිය සරත් මුත්තෙට්ටුවෙගම මහතා ය. මුලින් කී ශෝක ප‍්‍රකාශය ඒ වෙනුවෙන් ගැමියෙකුගේ අව්‍යාජ ශෝක ප‍්‍රකාශයකි.

මෙරට බොහෝ වාමාංශික පතාකයන් මෙන්ම සරත් මහතා ද වලව්වකින් වමට එක් වූ අයෙකි. දක්ෂ තරුණ නීතිඥයෙකි. දිගින් දිගටම ජයග‍්‍රහණයන් (ජාතියේ පරාජයන්) ලැබූ ජයවර්ධන රජයේ ළදරු අවධියේ ලද පළමු පරාජය නම් කලවාන මැතිවරණයේ එ. ජා. ප. යෙන් පත් වූ මන්ත‍්‍රීවරයාව නඩු කියා පරාජය කර සරත් මන්ත‍්‍රීවරයෙක් ලෙස පත් වීම යැයි කිව හැකි ය.

ශ‍්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂයට එක් වූ සරත් මහතා මුලින්ම කළේ සිය රථය සිය වලව්වේ ගේට්ටුවේ හප්පා කඩා දමා වලව්ව ජනයාට විවෘත කිරීම යි. දිගින් දිගටම බුහුජන හිතාය බහුජන සුඛාය අර්ථයෙන් දේශපාලනයේ යෙදුණු ඔහු දේශපාලනයෙන් හම්බ කරගත් කිසිවක් නැත.

දිනක් සවස් භාගයේ කුරුඳුවත්ත පොලිසියේ නිලධාරීන් දෙදෙනෙක් සැඳෑ කාලයේ ප‍්‍රධාන විදුලි ලාම්පු රහිතව ධාවනය කළ ජීප් රියක් සහ එහි රියදුරු පොලිසියට ගෙන ආවේ රාජකාරි කටයුතු කිරීමට ය. රියදුරා බංකුවේ වාඩි වී සිටිය දී ප‍්‍රධාන පොලිස් පරීක්ෂකවරයා පැමිණියේ ය. බංකුවේ වාඩි වී රාජකාරි කරන තුරු සිටියේ පාර්ලිමේන්තු මන්ත‍්‍රී සරත් මුත්තෙට්ටුවෙගම මහතා යි. වහා ඔහු හඳුණාගත් පරීක්ෂකවරයා ඔහුව හඳුණානොගත් නිලධාරීන්ට බැණ වදින්නට සැරසුන ද මන්ත‍්‍රීවරයා එය වලක්වා ඔවුන්ට රාජකාරි කරන්නට ඉඩ දෙන ලෙස කීවේ, තම නිවස ආසන්නයේ දී රථයේ ලාම්පු අක‍්‍රීය වූ අතර ගෙදරට යන්නට උත්සාහ කිරීමේ දී මෙය සිදු වූ බවත් නිලධාරීන් නිවැරදි බවත් පවසමිනි.

එවක රත්නපුර දිසා මන්ත‍්‍රීවරයාව සිටි අබුසාලි මහතා නගර සභා ශ‍්‍රවණාගාරයේ ආණ්ඩු පක්ෂ රැස්වීමක් පවත්වමින් සිටි අවස්ථාවක ඊට නුදුරු සීවලී පිටියේ සරත් මහතා සිටියේ ජූලි වර්ජකයන් සමඟ ඔවුන්ගේ උපවාසයකට සහය දෙමිනි. නගර සභාව පොලිසිය රැකවල් කළ අතර එක් විට ම ජූලි වර්ජකයන් ද සමග අබුසාලි මහතාගේ රැස්වීම වෙත පිවිසුණු සරත් මුත්තෙට්ටුවෙගම නවතන්නට පොලිසිය තියා අබුසාලි මහතා ද ඉදිරිපත් නොවූ අතර ආණ්ඩුවේ රැුස්වීමේ ආණ්ඩුවට විරුදුව කතා කොට හේ නික්ම ගියේ අත්පොලසන් මධ්‍යයේ ය.

හදිසි නීති පණත ගෙන ආ අවස්ථාවේ ඊට විරුද්ධව ඡුන්දය දුන් එකම මන්ත‍්‍රීවරයා ද සරත් යැයි කියැවේ.

දරුණු රිය අනතුරකින් ඔහු මිය ගිය පසු රටක් ශෝකයට පත් විය. පාර්ලිමේන්තුවේ ශෝක කතා දිනයක් පුරා පැවැත්විණි. පක්ෂ විපක්ෂ සියල්ලන් කතා කරමින් ශෝකය පළ කළහ. රත්නපුර ලං.ග.ම ඩිපෝව වාර්තාගත ආදායමක් ලැබී ය. ඒ වන විට සටන් කරමින් සිටි උතුරේ සන්නද්ධ කණ්ඩායම් පවා සටන් නවත්වා සිටි ශෝකය පළ කළ බව පැවසේ. උතුරේ ද කඩ වසා සුදු කොඩි දමා ශෝකය පළ කරනු ලැබී ය.

මේ කාලයේ දේශපාලකයන් මන්ත‍්‍රී ධුරයක් හෝ ඇමති ධුරයක් ලද සැණෙන් ඩිජිටල්කරණය වූ සුපැතුම් වැසි වසින අතර උහු මිය ගිය විට සුදු කොඩියක් දකින්නටවත් නැති ය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *