දැනුම දැනුමට බාධාවකි

අපට යමක ස්වලක්ෂණ හඳුනාගැනීමට නැතහොත් යථාර්තය අවබෝධ කර ගැනීමට මහත්ම බාධකය වන්නේ අපේම දැනුමයි. එවැවින් අප දරන මති මතාන්තර ඉවත්කර දැමීමට ඉගෙනීම බෙහෙවින් වැදගත් කාර්යයක් වෙයි. ඔබ සිතන්නේ ඔබ නතු වී සිටින මතයට, දෘෂ්ටිවාදයට අනුව පමණක් නම්, ඔබේ ප්‍රඥාවට අලුතින් යමක් එකතු කර ගැනීමට නොහැකි වේ. නව න්‍යායයන් හා ලෝකයේ ස්වභාවය ඔබට දැනගත නොහැකි වේ.

“මාගේ ඉගැන්වීම නදියකින් එතෙර වීමට ප්‍රයෝජනයට ගත හැකි පහුරක් හා සමාන වන්නේය. නදියෙන් එතෙර වූ වහාම එය අතහැර දමන්න” මේ බුදුරජාණන්වහන්සේගේ අපූර්ව ප්‍රකාශයකි. ඔබට නමස්කාර කරමින් හිඳීමට පහුරක් අවශ්‍ය නැත. ඔබ සත්‍යය දන්නේ යයි ආඩම්බර විය යුතුද නැත. බුදුහිමියන්ගේ තවත් සිත්ගන්නාසුලු ප්‍රකාශයක් වන්නේ “යම් විටක ධර්මය වුවද අත්හැර දැමිය යුතු වෙයි. ධර්මය නොවන දෑ ගැන කියනුම කවරේද..?” යන්නයි.

බුදුහිමියන් එතැනින්ද නොනැවතී මොවැනි ප්‍රකාශයක් ද කොට ඇත. “මගේ ධර්මය සර්පයෙකු වැනි වෙයි. එය විසකුරුය. ඔබ ඌ නිසි පරිදි හසුරුවා නොගතහොත් ඔබට දෂ්ට කරනු ඇත”. මේ කියමන්වල අර්ථය නිවැරදිව උකහාගන්නට උත්සාහ කරන්න.

යථාර්තය වෙත එළඹීම සඳහා තර්කයද භාවිතා කළ හැකි වෙයි. ඒ ක්‍රමවේදය ‘අනුමාන ප්‍රමාණ’ වශයෙන් හඳුන්වනු ලැබේ. අපේ සිතට විවිධාකාරයෙන් තර්කයෙහි යෙදිය හැක. ඒ සඳහා ව්‍යාඛානාත්මක ක්‍රමවේදය හෙවත් මාතෘකාවෙන් බැහැරව වුවද ගමන් කිරීම, ව්‍යාප්ති ක්‍රමවේදය හෙවත් යමකින් තවත් යමකට යාම, අනුමාන කිරීම හා නිගමනය කිරීම වැනි ක්‍රමද භාවිත කළ හැක. ඔබට ඉතා දුරින් දුමක් පෙනෙයි. එතැන ගින්නක් ඇති බවට අනුමාන කළ හැකියි. එහිදී තර්කයක්ද ගෙන ආ හැකි වෙයි. ගින්නක් නොමැති නම්, දුමක් ද නොවේ.

එය එසේ වුවද සෘජු ප්‍රත්‍යක්ෂයද සමහර විට අසත්‍ය වෙයි. ඔබට යම් හඬක් ඇසෙයි. එය ළදරුවකුගේ හඬක් බවට ඔබ නිගමනය කරයි. එහෙත් එය බළලෙකුගේ වෙයි. අප තුළ පවත්නා, අප තුළ පැලපදියම් වූ සංකල්පනා හේතුකොටගෙන , අපේ ඉන්ද්‍රියානුබද්ධ දැනුවත්වීම අප නොමඟ යවයි. වක්‍ර ප්‍රත්‍යක්ෂය හා තර්ක කිරීම බොහෝ දුරට අසත්‍ය වෙයි.

යථාර්තය දක්නට නොහැකි වීමට බෙහෙවින් හේතුකාරක වන්නේ අප තුළ පවත්නා ආත්ම අවිද්‍යාවයි. ආත්ම අවිද්‍යාව යනු පුද්ගල ස්වභාවය පිළිබඳව පුද්ගලයාගේ ස්වලක්ෂණ පිළිබඳව හරිහැටි තේරුම් ගැනීමට නොහැකි වීමයි. පුද්ගලයා නිර්මාණය වී ඇත්තේ අපුද්ගල අංග ලක්ෂණවලින් බවට අපට වැටහීමක් නැත. අප තුළ පවත්නා වැටහීම වන්නේ පුද්ගලයෙක් ඇත යන්නයි. පුද්ගලයා නිර්මාණය වී ඇති ධාතු කොට්ඨාස හා වෙනත් කාරණා පිළිබඳ අවබෝධයක් නොමැති කළ අප ගැන වැරදි චිත්‍ර මවාගෙන සිටිමු. අපි විශිෂ්ටයෝ වෙමු. අපි සමාන වෙමු. අපි දුර්වලයෝ වෙමු. මෙවැනි සිතුවිලි හටගන්නේ අප පිළිබඳ අපට නිසි වැටහීමක් නොමැති විටය. අපට ආත්මයක් ඇතැයි සිතා ඒ ආත්මයට අප ආදරය කරන විට, අපට කිසිවක් දෙස සැබෑ ලෙස දැකීමට නොහැකි වේ.

-හසිත මානන්දුව-
Buddha Mind Buddha Body කෘතිය ඇසුරෙන්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *