ගඟට ඉනි කපන නෙක විධි තිබේ!

එක්තරා රටක, තම සේවකයින්හට හොඳින් සලකන, සාධාරණ වේතන ගෙවන ලී වෙළෙන්දෙක් සිටියේ ය. දිනක් තරුණයෙකු රැකියාවක් පතා මේ වෙළෙන්දා සොයා ආ අතර ඔහුගේ බලාපොරොත්තුව සඵල විය.

තමන්ට පැවරෙන කවර කාර්යයක් වුවද හැකි උපරිම අයුරින් ඉටුකිරීමට ඉටාගත් තරුණයා පළමු දින හිමිදිරියේ ම රැකියාවට වාර්තා කළේ ය.

ශක්තිමත්භාවය නිසා ම ඔහුට පැවරුණ රාජකාරිය වූයේ ගස් කැපීම යි. වෙළෙන්දා පොරවක් දී ඔහුගේ සීමාව පෙන්වා දුන්නේ ය.

පළමු දිනයේ බොහෝ වෙහෙස වී වැඩ කළ තරුණයා හවස් වනවිට විසල් ගස් දහඅටක් කපා බිම හෙලීමට සමත්විය.

“බොහොම සංතෝෂයි, ළමයා බොහොම සංතෝෂයි.මේ විදිහට දිගට ම වැඩකරගෙන ගියොත් තමුන් ඉක්මනින් දියුණු වෙනවා සිකුරුයි”යි පැවසූ සාධාරණ වෙළෙන්දා ඔහුට දෛනික වේතනය ගෙවන විට වැඩිපුර ගණනක් ද එයට එකතු කරන්නට අමතක නොකළේ ය.

එයින්, වියයුතු පරිදි ම ‍තව තවත් ධෛර්යයට පත් වූ තරුණයා පසු දා පෙරදාටත් වඩා මහන්සි වී වැඩ කළේය. නමුත් එදින ඔහුට කපා ගත හැකි වූයේ ගස් පහළොවක් පමණි. එයින් ඔහු මඳක් සිත් තැවුලට පත් වූවත්, ඊට පසුදා වඩා පාන්දරින් පැමිණ රාජකාරිය ඇරඹීමට ඉටා ගත්තේ ය.

අවාසනාවක මහත! කෙතරම් මහන්සි වුවද, එදින ඔහු සතු වූයේ ගස් දහයක වාර්තාවක් පමණි. දවසින් දවස කැපෙන ගස් ප්‍රමාණය අඩු විය.

“අනේ දෙවියනේ, එන්න එන්න ම මගේ ශක්තිය හීන වෙලා යනවද? මං මොකද කරන්නේ, මුදලාලි මං ගැන මොනවා හිතනවා ඇද්ද?”යි සිතමින් තරුණයා වික්ෂෝප වන්නට විය.

අවසානයේ ඔහු වෙළෙන්දා හමු වී මේ කාරණය පැහැදිලි කරන්නට සිතීය.

“මහත්තයා, මට සමා වෙන්න, මං පුළුවන් තරම් උත්සහ කළා මුල් දවසටත් වඩා හොඳින් දිගට ම වැඩ කරන්න, ඒත් මටත් හිතා ගන්න බැරි  හේතුවක් නිසා එන්න එන්න ම කැපෙන ගස් ගණන අඩු වෙනවා. මට බොහොම කණගාටුයි ඒ ගැන,” තරුණයා වෙළෙන්දා හමු වී තමන් පත් වූ කලබැගෑනිය හැකි අයුරින් පහදා දෙන්නට වූයේය.

වෙළෙන්දා මද සිනාවක් නගමින් හිස සැලීය.

“පුතා… කණගාටු වෙන්න කාරියක් නැහැ, මීට කලිනුත් ඔය වැඩේ වෙලා තියෙනවා, දැන් තමුන්ටත් වුණා, ඉදිරියට තව අයටත් වෙයි,”

ඒ අසා තරුණයා පුදුමයට පත් වූ අතර දෙවනුව වෙළෙන්දාගේ පැහැදිලි කිරීම අසා සිය මෝඩ කම ගැන අතිශයින් ලැජ්ජාවට පත්විය.

“තමුන් බොහොම මහන්සි වෙලා, වෙන කිසිම දෙයක් කරන්නේ නැතිව, වෙන කිසිම දෙයක් ගැන හොයා බලන්නේ නැතිව, උදේ ඉඳන් රෑ වෙනකම් ගස් කැපුවා,

ඒක මං දන්නවා.

දැන් මට මේක කියන්න බලන්න,

මේ පොරොව මුවහත් තියන්න උවමනායි කියන එක තමුන්ට ඒ කොයිම වෙලාවකවත් සිහි වුණේ නැහැ නේද?”

පරිවර්තනය:
රන්දිකා රණවීර ප්‍රනාන්දු

කථාව සහ පිංතූර:
අන්තර්ජාලයෙනි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *