සතිඅග සලරුව – The Passion of the Christ (2004)

“මේ චිත්‍රපටය ප්‍රේමය, බලාපොත්තුව, භක්තිය හා දයාව ගැනයි. උන්වහන්සේ මුලු මහත් මනුෂ්‍යවර්ගයා වෙනුවෙන්ම දුක් වින්දා. ඒ මුල්ම පණිවිඩය වෙත ආපසු යන්න කාලයයි මේ. ලෝකය විපරීත වෙලා. ප්‍රේමයෙන්, බලාපොරාත්තුවෙන්, භක්තියෙන්, දයාවෙන් ටික ටික දැන් අපට ඕනෑ වෙලා“

යේසුස් ක්‍රිස්තූන් ගේ දුක්ප්‍රාප්තිය, ද පැෂන් ඔෆ් ක්‍රයිස්ට් නමින් සිනමාවට නගන්නට පෙර, එහි අධ්‍යක්‍ෂ කීර්තිධර හොලිවුඩ් රංගන ශිල්පී මෙල් ගිබ්සන් එසේ කියා සිටියා.

ද පැෂන් ඔෆ් ද ක්‍රයිස්ට් චිත්‍රපටය තිරගතවූයේ 2004 වසරේදීයි. මෙල් ගිබ්සන් එහි අධ්‍යක්‍ෂවරයායි. ක්‍රිස්තුස්වහන්සේගේ චරිතය නිරූපණය කරන ලද්දේ ජිම් කවීසල් විසිනුයි.

චිත්‍රපටයට පාදකවන්නේ ජේසුතුමන්ගේ ජීවිතයේ අවසන් පැය 12 ක කාලයයි. කුරුසියේ දිවි පිදීම කෙබන්දක්දැයි ඇට මිදුලු දක්වාම විහිදයන දයානුකම්පාවිත ගෞරවයකින් ඕනෑම ආගමිකයෙකු කෙරෙහි දැනවීමට චිත්‍රපටය සමත්. බොහෝ විචාරකයන් චිත්‍රපටයේ ප්‍රචණ්ඩත්වය වැඩියැයි චෝදනා නැගුවා. නමුත් කල්වාරියේ කුරිසිය මත ඇණ ගසන තැන දක්වාම ක්‍රිස්තුස් වහන්සේ විඳි බිහිසුණු වධ වේදනා ඒ අයුරින්ම ප්‍රේක්‍ෂකයා වෙත අරුත්ගන්වන්න අධ්‍යක්‍ෂවරයාට උවමනා කර තිබුණා. එක් තැනකදී රෝම සොල්දාදුවෝ ජේසුගේ කරමතට කුරුගස හෙළද්දී , එහි බරින් චරිතය නිරූපණය කළ ජිම් කවීසල්ගේ උරහිස පැනීමකට ලක්වුණා. ඔහු වේදනාවෙන් කෑගැසුවා. චිත්‍රපටය රැගෙන එන එම දර්ශනයේදී අදටත් දක්නට ඇති ජේසුස් ක්‍රිස්තූන්ගේ වේදනාව, ජිම් කවීසල් එම මොහොතේ අත්විඳි සැබෑ වේදනාවමයි.

චිත්‍රපටය රූගත කර ඇත්තේ ඇරමයික්, හීබෘෘ සහ ලතින් යන ක්‍රිස්තු සමයේ භාවිතා වූ භාෂාවලින්මයි. ලෝකයේ ඕනෑම තැනක කෙනෙක් දෙබස් තේරුම් ගතයුත්තේ උපශීර්ෂ වලින්. දුක්ප්‍රාප්ති කථාව කවුරුත් දන්නා නිසා එයට වඩා සිනමාත්මක ප්‍රවේශයක් ගෙන ඒම අධ්‍යක්‍ෂ මෙල් ගිබ්සන් හට උවමනාව වුණා. චිත්‍රපටයට පසුබිම් සංගීතය යෙදීමත් මුලින් ඔහු ප්‍රතික්‍ෂේප කළා. කෙසේ වෙතත් පසුව ජෝන් ඩෙබ්නි විසින් ඒ වෙනුවෙන් කළ පසුබිම් සංගීතය ඔස්කාර් සම්මානය සඳහා ද නිර්දේශ ලැබුවා.

චිත්‍රපටය රූගතකිරීම හා බැඳී ඇති ප්‍රාතිහාර්යයන් පිළිබඳ කතා ගණන අතිවිශාලයි. රූගත කිරීම් අවසන් වෙත්දී එයට දායක වූ අයගෙන් සැලකිය යුතු පිරිසක් කිතුනුවන් බවට පත්වූ බව පැවසෙනවා. චිත්‍රපටයේ ජුදාස් ගේ චරිතය රඟපෑ ලූකා ලියොනෙල්ලෝ ඉන් කෙනෙක්. ඔහු කිසි ආගමක් නොඇදහූ අදේව වාදියෙක්.

ද පැෂන් ඔෆ් ද ක්‍රයිස්ට්, ඕනෑ ම මනුෂ්‍යෙයකුගේ හදවතට සංවේදී වන, ඕනෑ ම ආගමිකයෙකු හට තම  තමන්ගේ ආගමික ශාස්තෘවරුන් ගැන ඇති අචල භක්තිය යළි හෙළි පෙහෙළි වීමටත්, අනෙක් ආගම් වල ශාස්තෘවරුන් කෙරෙහි යොමුවන දෘෂ්ටිය වඩා ගෞරවණීය එකක් වීමටත් මඟපාදන, සෑම කල්හි ම අවශ්‍යවන වර්ගයේ සිනමා කෘතියක් ලෙස හඳුන්වා දිය හැකියි.

  • සටහන – අඛිල රන්සිරි මලලගේ
  • ටොරන්ට් සබැඳිය – https://thepiratebay.se/torrent/8178011/The.Passion.of.the.Christ.2004.1080p.BluRay.x264.anoXmous

Leave a Reply

Your email address will not be published. Required fields are marked *