සතිඅග සළරුව – Trumbo (2015)

විශ්වාස කරන්න ඕනෑ මොනවාද, කියන්න ඕනෑ මොනවාද, ලියන්න ඕනෑ මොනවා දැ යි ඔහුට කියන්න එන්න කාටවත් බැහැ. ඔහු ඩෝල්ටන් ට්‍රම්බෝ. ඩෝල්ටන් ට්‍රම්බෝ යනු හොලිවුඩයේ එදා මෙදා තුර බිහි වූ අග්‍රගණ්‍ය සිනමා රචකයගෙන් කෙනෙක්. ස්පාර්ටකස්, එක්සොඩස්, බ්‍රේව් වන් සහ රෝමන් හොලිඩේ ආදී අදටත් ජනකාන්ත හොලිවුඩ් සිනමා නිර්මාණ රැසක් ඔහුගේ සිනමා රචනා අතරේ වනවා.

ඩෝලටන් ට්‍රම්බෝ හොඳට හම්බකරන්න රැකියාවක් ඕනෑ වූ නිසා ලිවීම තෝරාගත් කෙනෙකු නොවෙයි. ඔහු වඩා යහපත් ලෝකයක් පිළිබඳව ක්‍රියාවෙන් සිතූ කෙනෙක්. ඩෝල්ටන් ට්‍රම්බෝ කොමියුනිස්ට් පක්‍ෂය හා අතවැල් බැඳගත්තේ එක්දහස නවසිය හතළිස්ගණන් වලයි.

ඇමෙරිකා එක්සත් ජනපද රජයට, කවදත් කොමියුනිස්ට්කාරයන් සැක සහිත නිසා හොලිවුඩයේ කොමියුනිස්ට් කටයුතු හා නම් ගෑවී සිටින ශිල්පීන්ව මණ්ඩලයක් ඉදිරියට කැඳවනු ලැබුවා. ඩෝල්ටන් ට්‍රම්බෝ එයින් එක් අයෙක්. නමුත් ඔහු කමිටුව හමුවේ පිළිතුරු දීම ප්‍රතික්‍ෂේප කළා. “රජයට එහෙම අහන්න කිසි අයිතියක් නැහැ” ඔහු දැඩිව එල්බගෙන සිටි මතය එයයි. සියල්ලෙහි ප්‍රතිඵලය ඔහුට මාස දහයක කාලයක් සිරබත් කෑමට සිදුවීමයි. ඩෝල්ටන් ට්‍රම්බෝ ඇතුළු ‘කොමියුනිස්ට් කාර‘ සිනමා ශිල්පීන්ව අපලේඛනගත කෙරුණා. මෙසේ අපලේඛන ගත කෙරුණු දහ දෙනා එකල “හොලිවුඩ් ටෙන්” නමින් හැඳින්වූවා.

ජේ රෝච් විසින් අධ්‍යක්‍ෂණය කරන ලද ට්‍රම්බෝ චිත්‍රපටය ගෙතෙන්නේ අපලේඛනගත සිනමා රචක ඩෝල්ටන් ට්‍රම්බෝ ගේ සැබෑ ජීවන තතු පදනම් කරගෙනයි. ඔහු තම අනන්‍යතාවය සඟවාගනිමින් අන්වර්ථ නාම වලින් ජීවත් වීම සඳහා ලියූ කාලය මූලික වශයෙන් සිනමාපටයේ දිගහැරෙනවා. ඔහු වෙනත් නම් වලින් ලියූ රෝමන් හොලිඩේ, බ්‍රේව් වන් වැනි සිනමාපට ඔස්කාර් සම්මාන ලබත්දී ඒවා වේදිකාව මත සියතට ගන්න ට්‍රම්බෝහට වරම් ලැබුණේ නැහැ. චිත්‍රපටයේ අවසන ඇතුළත් ඩෝල්ටන් ට්‍රම්බෝ සමග කෙරෙන හැඟීම්බර රූපවාහිනී සම්මුඛ සාකච්ඡාව, එහි සැබෑ සම්මුඛ සාකච්ඡාව ඒ අයුරින් ම නිරූපණය වන පරිදි සිනමාවට නැඟීම සඳහා අධ්‍යක්‍ෂවරයාත් ප්‍රධාන නළුවාත් අභියෝගාත්මක උත්සාහයක් දරා තිබෙනවා.

ඩෝල්ටන් ට්‍රම්බෝ ගේ චරිතය නිරූපණය කරනු ලැබුවේ සිනමා නළු බ්‍රයන් ක්‍රැන්ස්ටන් විසිනුයි. තවමත් හොලියුඩයට ජීවමානව මතක ඇති ට්‍රම්බෝව සැබෑ ලෙස නිරූපනය කිරීමට ඔහු ගෙන තිබූ සාර්ථක වෑයම වෙනුවෙන් හොඳම සිනමා රංගනය සඳහා ඔහු ඔස්කාර් නිර්දේශ ලැබුවා.

අතීතයේ රෝම වහල් ප්‍රජාවට ස්පාර්ටකස් නිදහස රැගෙන ආවක් මෙන් ට්‍රම්බෝ ඇතුලු අපලේඛනගත හොලිවුඩ් ශිලපීන්ට ඉන් නිදහස රැගෙන ආවේ, එහි නිෂ්පාදක සහ ස්පාර්ටකස් ලෙස රඟන කර්ක් ඩග්ලස් විසින් තිර රචකයා ලෙස ඩෝල්ටන් ට්‍රම්බෝගේ නම චිත්‍රපටයේ යොදන්න ගත් නිර්භය, ආන්දෝලනාත්මක තීරණයත් සමගයි. ට්‍රම්බෝ චිත්‍රපටයේ කතාව ඒතාක් දුරට ම දිවෙනවා. බොහෝ විරෝධතා මධ්‍යයේ තිරගත වූ ස්පාර්ටකස් බලන්න එදා ජෝන් එෆ් කෙනඩි ජනාධිපති වරයා පවා පැමිණියා. කොමියුනිස්ට් කාරයන් වීම නිසා අපලේඛන ගතව සිට, ස්පාර්ටකස් නිසා වැඩ කිරීමේ අයිතිය යළි ලැබුණු හොලිවුඩ් දසදෙනා අතර ස්පාර්ටකස් චිත්‍රපටයට පදනම් වූ නවකතාවේ රචක හොවාර්ඩ් ෆාස්ට් ද සිටියා. සැබැවින්ම ට්‍රම්බෝ චිත්‍රපටය හුදු චරිතාපදාන චිත්‍රපටයක් නොව, හොලිවුඩ් ඉතිහාසයේ විශාල වපසරියකට දැක්ම හෙළිකර දෙන කවුළුවක් ලෙස හැඳින්විය හැකියි.

ස්පාර්ටකස්, හොවාර්ඩ් ෆාස්ට්, ජෝන් එෆ් කෙනඩි, ඩෝල්ටන් ට්‍රම්බෝ, කර්ක් ඩග්ලස් වැනි වඩා යහපත් ලෝකයක් ගැන සිතූ මිනිස්සු සිනමාව තුළ අහඹු ලෙස එකට බැඳීම දෛවෝපගත කාරණයක්. “ක්‍රියා කරන්න, කතාකරන්න, යාඥාකරන්න, ඡන්දය දෙන්න, විරෝධය පාන්න, ඇවිදින්න, ආලය කරන්න, වැඩකරන්න, හිතන්න කාටවත් බලපෑම් කරන්න කාටවත් බැහැ.” ඔවුන් සියල්ලෝම ඒ දහම ඇදහූ මිනිස්සු.

අඛිල රන්සිරි මලලගේ

Leave a Reply

Your email address will not be published. Required fields are marked *