සතිඅග සළරුව – Brooklyn (2015)

ඇමෙරිකා එක්සත් ජනපදය, සිහින දකින්නන්ගේ සිහින සැබෑවන දේශයයි. තම තමන්ගේ සිහින ලුහුබැඳ ලෝකයේ නොයෙක් තැනින් ආ ජනයා එක්ව ගොඩනගා ගත් ජාතිය ඇමෙරිකානු ජාතියයි.

බෘෘක්ලින් චිත්‍රපටය තම සිහින ලුහුබැඳ ඇමෙරිකාවට ආ අයර්ලාන්තික තරුණියක් ගැන කථාවක්. “ගෙදර” ඒ වචනයට ඈ නව අර්ථකථනයක් ලබනවා. බෘෘක්ලීන් ප්‍රදේශය නිව් යෝර්ක් හි වැඩිම ජන සංයුතියක් සහිත ප්‍රදේශයයි. ශතවර්ෂ දෙකකට ආසන්න කාලයක් තිස්සේ සංක්‍රමණය වූ අයර්ලාන්තිකයන්, ඉතාලියානුවන්, ජර්මානුන්, බ්‍රිතාන්‍යයන්, රුසියානුවන්, චීනුන්, අප්‍රිකානුවන් ආදී විවිධ ජනයා එහි දී ඇමෙරිකානුවන් බවට පත් වුණා. එහි විසූ ස්වදේශිකයන් හා මුසු වුණා. දේශපාලනය, සංක්‍රමණිකයන්ගේ ආගමනය මහා විනාශයක් ලෙස හුවාදක්වමින් ඇති කාලයක බෘෘක්ලීන් චිත්‍රපටය වසරේ හොඳම සිනමා නිර්මාණ වලින් එකක් ලෙස නිර්දේශ ලැබීම වැදගත් සංසිද්ධියක්.

බෘෘක්ලීන් ඇහැට ප්‍රිය සිනමා පටයක්. එහි කලා අධ්‍යක්‍ෂණය, සිනමාකරණය, ඇඳුම් නිර්මාණය ආදිය එහි කතානායිකාව වාගේම ප්‍රියජනකයි. චිත්‍රටයේ භාවිතා කර ඇති වර්ණ සංයෝජන සහ සංගීතය ඇගේ, ගතින් මෙතැන් සිතින් ගෙදර මනෝභාවය හා පෑහෙනවා. කෙසේවෙතත් ඇයට ගෙදර යනු කුමන තැන දැ යි පැටළැවෙන්න පටන් ගැනෙන්නේ අයර්ලන්තයේ සිට ආ ඇයට ඇමෙරිකාවේදී ප්‍රේමණීය ඉතාලියානු තරුණයෙකු මුණගැසීමත් සමඟ යි.

විත්‍රපටය පැහැදිලි ව ඉස්මතුවෙන දැඩි කූටප්‍රාප්තියක් සහිත එකක් නොවෙතත් එහි ඇති නිදහසේ ගලායාමේ රිද්මය ආකර්ශනීය යි.
දෛවය කුමන්ත්‍රණය කර ඇයට මාවත් දෙකක් පාදා දෙනවා. මාවත් දෙකක්. ගෙවල් දෙකක්. ජීවිත දෙකක්. දෙකම සම්පූර්ණ යි. ඇයගේ සිහිනයක් සැබෑ කරවන සුලු යි. ඉතින් එතැනදී තීරණය ගන්නේ දෛවය නොව ඇය විසින්ම යි. ප්‍රේක්‍ෂයාව ඇය තරමට ම දෙගිඩියාවකට පත්කරවන අවස්ථාවක් එතැන.

බෘෘක්ලීන් 2016 ඔස්කාර් සම්මාන උළෙලේ හොඳම චිත්‍රපටය, හොඳම රංගන ශිල්පිනිය සහ හොඳම අනුවර්තිත තිරපිටපත යන සම්මාන සඳහා නිර්දේශ ලබා තිබුණා. බෘෘක්ලින් චිත්‍රපටය ගොඩනැගී ඇත්තේ කොල්ම් ටොයිබින් නැමති අයර්ලන්ත ජාතික ලේඛකයාගේ නවකථාවක් පදනම් කරගෙන යි. එය ජෝන් ක්‍රෝලි ගේ අධ්‍යක්‍ෂණයක්. කෙසේවෙතත් චිත්‍රපටයේ ප්‍රධාන රඟන සර්ෂා රෝනන් මෙවර සම්මාන සමයේ අතිශය ආකර්ශනීය ප්‍රතිරූපයක් බවට පත්ව සිටියා. මේ, තවමත් විසි එක් හැවිරිදි වියෙහි පසුවන ඇගේ දෙවැනි ඔස්කාර් නිර්දේශය යි. මෙය පෙර 2007 වසරේදී “අ ටෝව්න්මන්ට්” චිත්‍රපටයේ රංගනය වෙනුවෙන් ඈ හොඳම සහාය රංගන ශිල්පිනිය ලෙස නිර්දේශ ලබා තිබුණා. එවකට ඇගේ වයස අවුරුදු දහ තුන යි.

මෙවර සාම්ප්‍රදායික අයර්ලාන්තික හරිත පැහැයෙන් සැරසී ඔස්කාර් රතුපලස මතින් පැමිණි සර්ෂා චිත්‍රපටයේ සමස්ත හරය කුළුගන්වමින් සිය අදහස් මාධ්‍යයට කීවා:

“ඇමෙරිකාවේ හැමෝම සංක්‍රමණිකයන්. අපි කවුරුත් වෙන කොහෙන් හෝ ආ අය. අපි කවුරුත් නැව් නැඟ මෙහි ආ අය. ඇමෙරිකාව ඒ සියල්ලන්ගේම එක්සත්බවේ සංකේතයක්.”

-අඛිල රන්සිරි මලලගේ-

Leave a Reply

Your email address will not be published. Required fields are marked *